කොල්ලූපිටියේ පිහිටි එක්ස්ප්ලෝර් ලංකා ආයතනයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එමෙන්ම කොම්පඤ්ඤවීදීයේ පිහිටි පෞදගලික ආයතනයක ප‍්‍රධාන කාර්යයාලයේ සේවකයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, කොළඹ, මිනුවන්ගොඩ, ගම්පහ, ඇතුළු දැනට ඇඳීරි නීතිය පනවා ඇති ප‍්‍රදේශවල විවිධ රැකියා කරන පුද්ගලයින් වෙළෙන්දන් ලෙස එළවළු රැුගෙන යෑම සඳහා ඊයේ රාති‍්‍රයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි බව දඹුල්ලේ ව්‍යාපාරිකයින් පවසනවා. ඔවුන් වැඩි පිරිසක් ආරක්ෂිත ක‍්‍රමවේදයෙන් තොරව මුඛ ආවරණ ඉවත් කර ගෙන සිටින අයුරු දක්නට ලැබුණු බවයි සඳහන් වන්නේ. නිවැරදි ලෙස මුඛ ආවරණ පළදින ආකාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පුරා ප‍්‍රදර්ශනය කොට තිබුණ ද බොහෝ දෙනා ඉතා අනාරක්ෂිත ආකාරයෙන් ගැවසෙන බව ව්‍යාපාරිකයින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අතර, නව්‍ය කොරෝනා වෛරසය වැළදුණු කාන්තාවන් දෙදෙනෙකු බගවන්තලාව ශී‍්‍ර තෙන්ඩායුදපානි හින්දු කෝවිලේ පැවැත්වූ පූජාවකට සහභාගී වීම හේතුවෙන්, එම කොවිලේ පූජකවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. කෝවිලේ පැවති පූජාවන්වලට සහභාගී වූ අනෙක් ආශ‍්‍රිතයින් සොයා මහජන පරීක්ෂකවරුන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ගාල්ල අක්මීමන ප‍්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකුට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහුගේ පවුලේ අනෙක් සාමාජිකයින් 07 දෙනා ද අද පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි පුද්ගලයෙකු වන ඔහුගේ සහෝදරයා කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මීට පෙර කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

මේ අතර, ති‍්‍රවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලදී සිය නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ තවත් 927 දෙනෙකු අද නිවෙස් බලා පිටව යාමට නියමිතව තිබෙනවා. මේ වනවිට නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කර නිවෙස් බලා පිටව ගිය සමස්ත පුද්ගලයින් ගණන 58,697 ක් වන බවයි කෝවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. නිරෝධායන මධ්‍යස්ථාන 70 ක් තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ගණන 7,039 ක් වන බව ද එම මධ්‍යස්ථානය ස`දහන් කළා.

මෙන්න බලන්න තවත් පුවත්