සමාජය තුළින් කොවිඩ් ආසාදිතයින් හමුවී ඇති බවට හා කොවිඩ් මරණ පිළිබඳ නිසි වාර්තා පළ නොවන බවට පැතිර යන මත සම්බන්ධයෙන් දෙරණ නාලිකාව සමග සජීවීව එක්වෙමින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදහස් පළ කළේය.

“ලංකාවේ ඉන්න ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරු කණ්ඩායම තමයි අපිත් සමග කොවිඩ් කාර්ය සාධක බලකායේ ඉන්නේ. මට වෛද්‍යවරු දෙන දේ තමයි කියන්න හැකියාව තිබෙන්නේ. ඔවුන් කියන්නේ, මේ සමාජ ගතවීම කියන දේ තියෙන අර්ථය, කිසිසේත් මේ තත්ත්වයේ දී ගෙනහැර පෑමට හැකියාවක් නොමැති බවයි. මොකද සෑම පුද්ගලයෙකුගේම ආශ්‍රිතයෙක් මාර්ගයෙන් හැඳුන බවට හොඳටම පේන්න තියෙනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ඒ නිසා තමයි ඔවුන් කියන්නේ, සමාජ ගතවීමක් තාම නෑ කියලා. ඒ අනුව කාර්ය සාධක බලකායේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් ඔවුන් තමයි විශේෂඥවරු අපි හමුදාවේ, අපි වෛද්‍ය වෘත්තියේ නෙමෙයි. නමුත් ඔවුන් කියන තත්ත්වය, ඔවුන් මේක විශ්ලේෂණාත්මකව පෙන්වන ක්‍රමවේදයන් සියල්ල සැළකිල්ලට ගත්තාම ඔවුන් පවසන්නේ මේක තාම සමාජ ගතවෙලා නෑ කියලා. අපිට තාම අවස්ථා දෙක තුනක් හමුවුණා හුදකලා වගේ, නමුත් මේවා සොයාගෙන ගියාමත් නැවත වතාවක් සම්බන්ධතාවයක් තිබෙන බව පැහැදිලි වෙනවා.“

ප්‍රශ්නය – අද උදෑසන සිට අපෙන් විවිධ විමසීම් සිදුකරනවා IDH රෝහලේ මෘතදේහයන් මෙතරම් තිබෙනවා, ජාතික රෝහලේ තිබෙනවා. කොවිඩ් ආසාදිතයින් මේ තරම් ප්‍රමාණයක් මියගිහින් තිබෙනවා කියලා. මෙහෙම තොරතුරක් ඔබ තුමාට ලැබිලා තිබෙනවා ද?

“ජාතික රෝහලේ ඊයේ රාත්‍රියේ දී ඇතුළත් වුණ පුද්ගලයින් දෙදෙනෙක් ඇතුළත් වීමේ දී මියයෑමක් සිදුවෙලා තියෙනවා. ඒක සාමාන්‍ය රෝග තත්ත්වයක් යටතේ තමයි මියගිය තත්ත්වය පේන්න තිබෙන්නේ. නමුත් මේ දිනවල සාමාන්‍ය තත්ත්වයක් යටතේ මියගියත් අනිවාර්යයෙන්ම මෘත ශරීරය පරීක්ෂණයට භාජනය කරලා, පීසීආර් පරීක්ෂණයකුත් කරලා තමයි ඉතුරු කටයුතු කරන්නේ. ඒක අපි අනිවාර්යයෙන්ම තහවුරු කර ගත යුතුයි කොවිඩ් ආසාදිතයෙක් ද කියලා. ඒ සඳහා පීසීආර් පරීක්ෂණය තව සුළු වෙලාවකින් කරාට පස්සේ අද දිනයේ දී මේක දැනගන්න පුළුවන්. එතෙක් මේක කොවිඩ් කියලා කිසිසේත්ම කියන්න හැකියාවක් නෑ“

මෙන්න බලන්න තවත් පුවත්