මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින්ගේ ගණන 5400 සීමාවට ලඟා වී තිබේ.

ඒ ඊයේ (27) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 457 දෙනා ද සමගය.

එසේ හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 10 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති අතර අනෙක් ආසාදිතයින් 447 දෙනා පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඒ අනුව, මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 5395ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ද මේ වන විට 8770 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් රෝගීන් 4043 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව, රෝගීන් 4808 දෙනෙකු තවදුරටත් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගිය දින 06 තුළ පමණක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 2883 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මෙරටින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය 23 වනදාය.

මේ අතර ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් මරණ තුනක් මෙරටින් වාර්තා විය. එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම මරණ තුනෙන් අවසන් වරට වාර්තා වු මරණ දෙක පිළිබඳව ඊයේ රාත්‍රී නිවේදනයක් නිකුත් කළේය.

එහි සඳහන් කළේ, මෙහිදී මියගිය පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිට ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා තහවුරු කර ඇති බවය.

මෙන්න බලන්න තවත් පුවත්