පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවේ සිටි මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වූයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රැකගැනීමේ අපේක්ෂාවෙන් නොව එවකට පැවති ආණ්ඩුව රැකගැනිමේ අපේක්ෂාවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ව සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ පළමුවරට සාක්ෂි ලබාදෙමින් කබීර් හෂීම් මහතා අවධාරණය කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයේදී ඊට පක්ෂව ඡන්දය ලබාදුන්නේ නම් තමන්ට සිය ගම්බිම්වලට යාමට පවා නොහැකි බව වැටහුණු නිසා ඊට සහය ලබා නොදුන් බවය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (15) පළමුවරට සාක්ෂි ලබාදීමට පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කබීර් හෂීම් මහතා පැමිණියේ ය.

වනාතවිල්ලුවේ පුහුණු කඳවුර සහ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමේ මෙහෙයුමට තොරතුරු ලබාදුන්  කබීර් හෂීම් මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ තස්ලීම් හට සහරාන්ගේ කල්ලියේ අයෙකු විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙහිදී විමසා තිබේ.

“ඔබගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වු තස්ලීම්ට වෙඩිතැබීමක් සිදුවූ පසු  ඔබ මේ ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළේ නැත්ද?,” යැයි ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරුවරයා විසින් කබීර් හෂීම් මන්ත්‍රීවරයාගෙන් විමසීමක් කළේය.

ඊට පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කළේ, “මං කතා කළා. මොකද බුදුපිළිමවලට හානිකිරීමේ  සිද්ධියෙන් පස්සේ ඔය වනාතවිල්ලුවේ පරීක්ෂණවලට උදව් කරගන්න CID එකෙන් කිව්වා දෙමළ කතා කරන්න පුළුවන් ප්‍රදේශය ගැන දන්න කෙනෙක් ලබාදෙන්න කියලා. අපි තස්ලීම්ව දුන්නේ ඒකයි.”

“තස්ලීම් මෙම මෙහෙයුමට උදව් කළ බව දැනසිටියේ මම සහ CID එකේ නිලධාරින් විතරයි. හැබැයි කවුරුහරි කෙනෙක් තස්ලිම්ව වනාතවිල්ලුවේදි ඡායාරූපයක් අර‌ගෙන ඒක ෆේස්බුක් දාලා. වනාතවිල්ලුවේ මෙහෙයුමට පසු තස්ලීම්ගේ ඔලුවට වෙඩි තිබ්බා, කවුරු හරි. තස්ලීම් දැනටත් ඇඳක් උඩ ඔත්පල වෙලා ඉන්නේ. ඉතින් මේක ගැන මම කැබිනට් එකේ දිගටම කිව්වා. ‘මේකනම් මොකක් හරි Signal එකක් වෙන්න ඕනේ. මේ ගැන හොයන්න ඕනේ’ කියලා.”

“මේකෙන් මගේ ජීවිතේටත් තර්ජනයක් වෙනවා කියලත් මම කිව්වා. ඔහොම කියනකොට ජනාධිපතිතුමා කිව්වා ‘ඔයාව දවසක ආරක්ෂක කවුන්සිලයට ගෙන්නන්නම්. එතනදි ඔය විස්තර ඔක්කොම දෙන්න’ කියලා. නමුත් ඊට පස්සේ මම ඒකට යන්න බලාපොරොත්තුවෙන් හිටියත් ජනාධිපතිතුමා මාව කැඳෙව්වේ නැහැ,” යනුවෙන් කබීර් හෂිම් මහතා සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ ය.

“පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩුවේ සිටි සියලු මුස්ලිම් අමාත්‍යවරු සියලුදෙනා එකවරම ඉල්ලා අස්වුණා නේ. ඒකට හේතුව මොකක්ද?, පැහැදිළි කරන්න පුළුවන්ද?,” යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය කබීර් හෂිම් මහතාගෙන් විමසුවාය.

“ඒ කාල‌යේ මම එක්සත් ජාතික පක්ෂයේ සභාපති. විපක්ෂයෙන් පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙනාවා රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා. නමුත් ඒ විශ්වාසභංගය ඇත්තටම රජයට එරෙහිවම ආපු එකක් වුණා. ඒකෙදි අපේ ඇමතිවරු කතා වුණා ‘මේක අපිට දිනන්න බැහැ. රිෂාඩ්ගේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නොත් අපිට ආයෙත් ගම්වලට නම් යන්න වෙන්නේ නැහැ, ඒ නිසා ඡන්දය නොදී ඉන්නවා.’ කියලා,” යැයි ඔහු පිළිතුරු දුනි.

මම ඒ වෙලාවේ එවක අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා එක්ක කතා කරලා “මේ විදියට ඡන්දය නොදී හිටියොත් විපක්ෂය මේක දිනනවා, ඒ නිසා අපි රිෂාඩ්ට ඉවත් වෙන්න කියමු,” කිව්වා. නමුත් ඒකට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා කැමති වුණේ නැහැ. ඊට පස්සෙ තමයි අපි තීරණය කළේ, “අපි සියලුදෙනා අමාත්‍යධූරවලින් ඉවත්වෙමු එතකොට රිෂාඩ් බදියුදීන්ටත් ඉවත් වෙන්න සිද්ධ වෙනවානේ, ඒ අනුව අපි මුස්ලිම් ඇමතිවරු ටික ඔක්කොම රජයේ තනතුරුවලින් ඉල්ලා අස්වුණා. එතකොට රිෂාඩ් කෙලින්ම මන්ත්‍රීවරයකු වෙන නිසා පොලීසියටත් පුලුවන්නේ ඒ අවශ්‍ය පරීක්ෂණ පහසුවෙන්ම කරන්න. ඒක තමයි ඒ වෙලාවේ රටේ ඇතිවුණු තත්ත්වයේ දී ගන්න පුළුවන් වුණු තිරණය,” යැයි කබීර් හෂීම් මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.

“ඔබ ජනතා නියෝජිතයෙක් වුණාට කල්පනා කරලා තියෙන්නේ පක්ෂය ගැන, ඇත්තටම ඔය විශ්වාසභංගය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට ආපු එකක් මිස රජයට නෙවෙයිනේ. ඒ වෙලාවේ ඔබලා ඇමතිධූරවලින් ඉවත්වුණේ ඇත්තටම රිෂාඩ් බදියුදීන් වෙනුවෙන් නේද?,” යැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය කබීර් හෂීම් මහතාගෙන් විමසීමක් කළාය.

“නෑ ඒක වැරදි කතාවක්. මම අයින් වුණේ රජය වෙනුවෙන්. මන්ත්‍රීවරුන්ට එයාට ඡන්දය දෙන්න ඕන වුණේ නැහැ. එයාව අයින් කරන්න ඕනෙ නිසයි අපිට ඉල්ලා අස්වෙන්න ඕන වුණේ. ඒක ඔහුට විතරක් වුණා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ විශ්වාසභංගය විපක්ෂය දිනුවානම් අපේ ආණ්ඩුව බිඳවැටෙනවා. එකයි අපි එහෙම කළේ. අපිට රිෂාඩ් බදියුදීන්ව රකින්න ඕන වුණේ නැහැ,” යනුවෙන් කබීර් හෂීම් මහතා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේය.

අනතුරුව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය කබීර් හෂීම් මහතාගෙන් විමසුවේ, “පාස්කු ප්‍රහාරය එල්ලකළ එක් ස්වයංඝාතක බෝම්බකරුවෙක් ප්‍රහාරයට දවස් දෙකකට කලින් ඔබට දුරකතන ඇමතුමක් අරන් තිබුණාද?,” යනුවෙනි.

“නැහැ. ගිය අවුරුද්දේ දෙසැම්බර්වල මාව CID එකට කැඳෙව්වා. එතනදි කිව්වා පාස්කු ප්‍රහාරයට දින දෙකකට කලින් හකීම් නමැත්තකුගෙන් මට තත්පර 174 ක දුරකතන ඇමතුමක් ඇවිත් තිබෙනවා දන්නවාද ඒ ගැන කියලා. මම කිව්වා මට මතක නැහැ කියලා. ඊට පස්සෙ ඔවුන් මට ප්‍රකාශ කළා ඒ කතා කරලා තියෙන්නේ හකීම් කියන පුද්ගලයා. ඔහු දෙහිවල ට්‍රොපිකල් ඉන් එකේ බෝම්බය පුපුරගත් කෙනාගේ සහෝදරයා කියලා,” යනුවෙන් කබීර් හෂීම් මහතා පිළිතුරු දුනි.

අනතුරුව කොමිසම හමුවේ 11වන දිනටත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්ද මහතා පෙනි සිටියේ ය.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පූජිත් ජයසුන්දර මහතාගෙන් විමසුවේ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීමට වැඩි අවධානයක් දී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා සාකච්ඡා කළා සේම ඉස්ලාම් අන්තවාදය පිළිබඳ සාකච්ඡා කිරීමට රැස්වීම් කොපමණ ගණනක් පැවැත්වූයේද යන්නය.

“ගණනක් කියන්න බැහැ,” යනුවෙන් පූජිත් ජයසුන්දර මහතා පිළිතුරු ලබාදුන් අතර නැවත සභාපති විනිසුරුවරයා, “ඒ කියන්නේ එක් රැස්වීමක් හෝ  පැවත්වුයේ නැහැ,” කියන ඒකනේ යනුවෙන් පෙරළා පශ්න කළේය.

“නැ මං ඒක පිළිගන්නෑ, ස්වාමීනී. අපි ඒ වෙද්දි ප්‍රජා පොලිස් ඒකක පිහිටුවලා නිලධාරීන් අනුයුක්ත කරලා තිබුණේ කරුණු හතරක් ගැන හොයන්න. ඒකේ මූලිකම දේ වුණේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. අපි ඒ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු ග්‍රාම නිලධාරි මට්ටමින් සාකච්ඡා කළා,” යනුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සාක්ෂි දෙමින් පැවසීය.

“ඒකද වුණේ නැත්නම් හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය වැටලීම්වලට වැඩි අවධානය දුන්න එකද වුණේ,?” ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු හිටපු පොලිස්පතිවරයාගෙන් විමසා සිටියේ ය.

“ඒකට මම යම්තාක් දුරකට ඒකඟ වෙනවා,” යනුවෙන් පුජිත් ජයසුන්දර මහතා එහිදී පැවසීය.

සාක්ෂි විමසීම අතරතුර හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා හදිසි අසනීප තත්ත්වයකට මුහුණදීම හේතුවෙන් සාක්ෂි විමසීම පසුවට කල් තැබීමට ජනාධිපති කොමිසම තීරණය කළේය.

මෙන්න බලන්න තවත් පුවත්