පාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් විසින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ, එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රසන්න ද අල්විස්, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මිහිඳු අබේසිංහ ඇතුළු හත් දෙනෙකු නම් කර ඇත.

පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා කියා සිටින්නේ, පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් මස 14 වන දා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත දීර්ඝ කාලයක් රඳවා තබා පරීක්ෂණ සිදුකළ බවය.

අදාළ කාලසීමාව තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් තමන්ට හිමි නිවාස, දේපොළ, ව්‍යාපාර, බැංකු ගිනුම් යනාදිය පිළිබඳව පුළුල් අයුරින් විමර්ශන සිදුකළ බව පෙන්වා දෙන රියාජ් බදියුදීන් එහිදී තමාට එරෙහිව කිසිදු අපරාධමය චෝදනාවක් තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවීම හේතුවෙන් තමන්රී මුදාහැරීමට එම දෙපාර්තමේන්තුව ක්‍රියා කළ බවද පවසයි.

එසේ තිබියදීත් දේශපාලන හේතූන් මත තමන්ව යළි අත්අඩංගුවට ගන්නා ලෙස විවිධ පාර්ශව විසින් බලපෑම් එල්ල කරමින් සිටින බව පෙන්වාදෙන පෙත්සම්කරු මේ හේතුවෙන් තමාව යළි අත්අඩංගුවට ගත හැකි බවට සාධාරණ බියක් මතුව තිබෙන බව පෙන්වා දෙයි.

මෙන්න බලන්න තවත් පුවත්