නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 51 දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරෙන් වාර්තා වී තිබෙනවා.

එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 36 දෙනා ආශ්‍රිතයින් ඇසුරෙන් වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 90ක් වනවා.

මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 1397ක් දක්වා ඉහළ ගොස් ඇත. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවට එරෙහිව ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් කමිටුවක් පත් කර තිබෙනවා. කොරෝනා මර්දන කටයුතු සඳහා නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම මෙහි අරමුණයි.

මේ අතර, කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් ඊයේ දිනයේ හුදකලා කිරීමට පියවර ගත් මන්නාරම දිස්ත‍්‍රික්කයේ පට්ටිතෝට්ටම් සහ පෙරියකඩෙයි ගම්මාන අද සවස 6 සිට යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්