ත‍්‍රස්තවාදය මැඩපැවැත්වීමට ස්ථාපිත කෙරුණු විශේෂ කාර්ය බලකායට 2017 වසරේදී විශේෂ ගැසට් පත‍්‍රයකින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීම් මෙන්ම නීති විරෝධී පස් කැපීම්, ගල් හා වැලි ප‍්‍රවාහනයන් සෙවීම් ඇතුළු රාජකාරි රැසක් එක්කළ බව එවක එහි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් පවසනවා.

පාස්කු ප‍්‍රහාරය පිලිබද සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේ එවැනි රාජකාරීවලට ප‍්‍රමුඛතාවක් දීම හේතුවෙන් නැගෙනහිර හිස ඔසවමින් තිබූ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ අවධානය යොමු කිරීමට නොහැකි වූ බවයි. පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරියා ලෙස සිට මේ වනවිට විශ‍්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් එම කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදීමට පැමිණියේ 03 වන දිනටයි.

ඔහුගෙන් මීට පෙර දින කළ සාක්ෂි විමසීම අවසානයේ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සදහන් කළේ එදින ඔහු සාක්ෂි ලබාදුන් ආකාරය පිළිබද සලකා බලා ඔහුට කොමිසම් සභා පණතේ 16 වන වගන්තිය යටතේ නොතීසි නිකුත් කිරීමට නියම කරන බවයි.

ඒ අනුව මින් ඉදිරියට ඔහුගෙන් ජනාධිපති කොමිසම සාක්ෂි විමසන අවස්ථාවේ නීතිඥවරයෙකු සමග කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති කොමිසම හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් දැනුම් දුන් අතර ඒ අනුව ඔහු ඊයේ පස්වරුවේ නීතිඥ සහාය ද ඇති එම කොමිසම හමුවේ පෙනී සිටියා.

එහිදී සාක්ෂි විමසීම අරඹමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසුවේ ජනාධිපති කොමිසම මීට පෙර දන්වා ඇති ආකාරයට 2017 මාර්තු 18 සහ 2017 මාර්තු 24 යන දිනවලට අදාළ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ වාර්තා කොමිසමට ඉදිරිපත් නොකිරීමට හේතුව කුමක්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් පැවසුවේ 2017 ජූලි මාසයෙන් පසු වාර්තා කිහිපයක් පමණක් කොමිසමට ඉදිරිපත් කළ බවයි. අනතුරුව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කොමිසමට පෙන්වා දුන්නේ එම කිසිදු වාර්තාවක 2017 මාර්තු 10 කාත්තන්කුඩි අලියාර් මංසන්ධියේ ගැටුම සම්බන්ධයෙන් සඳහන් නොවන බවයි.

සහරාන් හෂීම් සම්බන්ධ අදාළ ගැටුමෙන් පසු එම වාර්තා කොමිසමට ඉදිරිපත් නොකෙරුවේ මන්දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියා. ඊට සුවිශේෂී හේතුවක් නොමැතිි බවත් තමන් අපේක්ෂා කළේ 2019 න් පසු වාර්තා පමණක් ඉදිරිපත් කරන ලෙස බවත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් සඳහන් කළා.

මෙන්න බලන්න තවත් පුවත්