දිවයින පුරා පුද්ගලයින් 8,000 ක් පමණ මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප‍්‍රදේශවල පමණක් පුද්ගලයින් 6,000 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1,053 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 4,488 ක්. ඒ අතරින් 1,197 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්වලින් ප‍්‍රතිකාර ලබා සුවය ලබා ඇති පුද්ගලයින් ගණන 3,278 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

මේ අතර තාවකාලිකව සේවාවන් අත්හිටවු මිනුවන්ගොඩ පොලීසියේ කටයුතු අද පස්වරුවේ සිට යළි ආරම්භ කිරීමට නියමිතයි. විෂබීජ හරණය කළ එම පොලිස් ස්ථානයට නව නිලධාරීන් යොදවා එලෙස යළි සේවාවන් ආරම්භ කෙරෙන බවයි බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කළේ.

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට ඊයේ පස්වරුවේ තීරණය කෙරුණේ එම පොලිස් ස්ථානයේ රාජකාරී කළ නිලධාරීන් නිරෝධායනය සදහා යොමු කිරීම හේතුවෙන්. එම පොලිස් ස්ථානයේ ආපන ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගැනීමත් සමග අදාළ නිලධාරීන් නිරෝධායනය සදහා යොමු කෙරුණා.

මෙන්න බලන්න තවත් පුවත්