මිනුවන්ගොඩ ඇඟලුම් කාර්මාන්ත ශාලාව ආශ්‍රීතව හඳුනාගත් කොවිඩ් නයින්ටීන් පොකුර විදෙස් රටකින් පැමිණි පුද්ගලයෙකු හෝ පිරිසකගේ අතපසුවීමක් තුළින් බිහිවන්නට ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට සමාජය තුළ සිටි කොවිඩ් නයින්ටීන් රෝගියෙකුගෙන් අදාළ කර්මාන්ත ශාලාවේ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීමට කිසිදු හැකියාවක් නොමැති බවය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන කාන්තාවකට පසුගිය 04 වන දින කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට හඳුනාගත් අතර ඉන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලදී එම ආයතනයේ තවත් විශාල පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත්තේය.

මෙම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට වෛරසය ආසාදනය වන්නට ඇත්තේ විදෙස් රටක සිට පැමිණි පුද්ගලයෙකුගෙන් හෝ පිරිසකගෙන් විය හැකි බව ඊයේ (07) රාත්‍රී විකාශය වූ රුපවාහිනී වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් නිරෝධායනය නොවී අදාළ කර්මාන්ත ශාලාවේ සේවයට පැමිණ ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව එම වැඩසටහන සමග එක් වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කළ මෙතෙක් නිරෝධායනට ලක් නොවු සේවකයින් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට අද පෙරවරු 10.00 දක්වා අවස්ථාව ලබාදිමට පොලීසිය තීරණය කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිටින එම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට ඒ සඳහා පැමිණිය හැකි ස්ථාන 24ක් ප්‍රකාශයට පත්කර ඇති බවය.

මේ අතර පවතින නිරෝධායන නීතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සමග එක්වෙමින් ඇය සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කිරීමට පියවර ගනිමින් සිටින බවය.

මේ අතර රට තුළ පවතින වාතාවරණය හමුවේ විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වාගැනීමේ කටයුතු ප්‍රමාද කිරීමට තීරණය කර ඇති බව එම වැඩසටහන සමග එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඉදිරි දින 07 තුළ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් කටයුතු කිරීම කොවිඩ් නයින්ටීන් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට විශාල පිටිවහලක් වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර මහතා එහිදි පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්