අද (05) දිනය තුළ දිවුලපිටිය ඇඟලුම් කම්හලේ සහ ඒ ආශ්‍රිත 2000කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටියේ පිහිටි ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් සහ ඔවුන් ළඟින් ඇසුරු කළ ආශ්‍රිතයින් මෙන්ම පාසල් දරුවන් ඊට ඇතුළත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

දැනට රසායනාගාර තුළ සිදුකරන PCR පරීක්ෂණ සේවාවන් පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස්  දී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවන සැක සහිත රෝගීන් ඇතුළත්කර පරීක්ෂා කිරීම සඳහා ගම්පහ රෝහල ද යොදා ගැනීමට තීරණය වී ඇති අතර එහිදී හමුවන කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙන්කර තැබීමට ද බලධාරීන් තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කිසියම් පුද්ගලයෙකු සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේනම් පැය 24 පුරා ක්‍රියාත්මක සුවසැරිය 1990 ගිලන් රථ සේවාවද සූදානමින් තබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්