මත්ද්‍රව්‍ය සැකකරුවෙක් ව අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමකට ඊයේ අටලුගම දී කාන්තාවන් ඇතුළු පිරිසක් පහර දුනි.

එම සිද්ධියේ වීඩියෝ කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතී.

පහතින් දැක්වෙන්නේ එවැනි වීඩියෝවකි. සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියෙක්ට කාන්තාවන් පිරිසක් පහරදෙන අයුරු එහි දැක්වේ.

ඉන් එක් කාන්තාවක් ඔහුගේ අතක් සපාකන අයුරුද එහි දැක්වේ.

මේ අතර,එම වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්
අත්අඩංගුවට ගත් සැකකාරියන් හා සැකකරුවන් 05 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ එම සැකකරුවන් ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇ‍ත.

අත්අඩංගුවට ගත් බාලයවස්කාර දැරියක් පරිවාස බාරයට පත්කිරීමට නියෝග කර ඇත..

ඊයේ (09) පෙරවරුවේ බණ්ඩාරගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ගංජා ජාවාරමකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට
අටලුගම, මාරාව ප්‍රදේශයේ නිවසක වැටලීමක් සිදුකර තිබූ අතර එහිදී එම නිවසේ සිටි පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින්
පොලිස් නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කර තිබුණි.

පහරකෑමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, කාන්තා සැරයන්වරියක් සහ කාන්තා කොස්තාපල්වරියක් තුවාල ලැබූ බව පොලිසිය සඳහන් කළේය.

සිද්ධියට අදාළව ඊයේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර
ඊයේ රාත්‍රියේ තවත් දෙදෙනෙකු පොලීසියට බාරවී තිබුණි.

මෙන්න බලන්න තවත් පුවත්