ගිනි ගැනිමට ලක් වූ “MT New Diamond“නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස
එම නෞකාව අයත් සමාගමට අද (10) දිනයේ ලිඛිතව දැනුම්දීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර තිබේ.

එම අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළේ, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අදාළ දැනුම්දීම සිදුකරන බවය.

ගිනි ගැනිමට ලක් වු නෞකාවේ ඉදිරි කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනිම සඳහා
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් ඊයේ දිනයේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා හමුවිය.

එහිදී අදාළ නෞකාවෙන් පිටවන ඉන්ධන මඟින් මුහුදු තීරයට සිදුවන හානිය වළක්වා ගැනිමට කඩිනම් පියවර ගන්නා ලෙස
නීතිපතිවරයා විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින්ට උපදෙස් ලබාදුන් බව
නීතිපතිවරයාගේ සම්බන්ධිකරන නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

මේ අතර ඒකාබද්ධ කිමිදුම්කරුවන් යොදා නෞකාවේ සිදුව ඇති ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන්
විමර්ශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

පැනමා ධජය යටතේ ලියාපදිංචි කර ඇති “MT NEW DIAMOND“නෞකාව
කුවේට්හි මීනා අල්-අහමඩි සිට ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැරදිප් නම් වරාය වෙත තෙල් රැගෙන එමින් තිබිය දී ගිනි ගැනීමකට ලක්විය.

මෙන්න බලන්න තවත් පුවත්