අවුරුදු දෙක හමාරක් පමණ වන පුංචි දරුවෙකු දියේ ගිලී මියයෑමේ අනුවේදනීය පුවතක් නෙළුව පාමංකඩ ප්‍රදේශයෙන් වාර්තා විය.

දරුවා මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇත්තේ වැඩිහිටියන්ගේ අවධානයෙන් ගිලිහී ඇළ මාර්ගයක් වෙත යමින් සිටියදීය.

අලුත්ගම දර්ගා නගරයේ දන්වත්තගොඩ ජීවත් වූ නිවේන් දෙව්මින වයස අවුරුදු දෙකයි මාස හතක පුංචි දරුවෙකි.

ඔහු මව, පියා සහ 9 හැවිරිදි සහෝදරයා සමග ඉකුත් 15 වැනිදා උදෑසන නෙළුව පාමංකඩ පිහිටි මවගේ මහ ගෙදර වෙත පැමිණ තිබුණි.

එදින පස්වරු 4ට පමණ දෙව්මිනගේ අයියා, නිවස පුරා සිය මල්ලිව සෙව්වත් හමුවී තිබුණේ නැත.

අනතුරුව ඔහු මේ බව මව්පියන්ට දැන්වීමත් සමග වහා කලබල වූ ඔවුන් දරුවා සොයා නිවස හා ඒ අවට සෝදිසි කර තිබුණි.

නමුත්, කිසිදු තොරතුරක් නොලැබීම නිසා දරුවා සොයාගැනීමට මව්පියන් සමාජ මාධ්‍ය හරහා ද ජනතාවගෙන් උදව් ඉල්ලා සිටියේය.

මව්පියන් ඇතුළු ගම්වාසීන් නිවස අසලින් ගලා බසිනා රංකැට ඇළ ද සෝදිසි කරන්නේ සිද්ධියෙන් පසුදිනය.

ඒ සියලු උත්සාහයන් ව්‍යාර්ථ වූ තැන පොලීසිය හා යුද හමුදාව ද දරුවා සොයා මෙහෙයුම් ආරම්භ කළේය.

නමුත්, ඔවුන්ට එහිදී හමුවූයේ දරුවාගේ නිසල සිරුරයි.

ඒ නිවස අසල සිට ඇළට කිලෝමීටර දෙක හමාරක් පමණ දුරකිනි.

දරුවා බේරාගැනීමට ගිය අයෙක්,

“උඩ ඉඳලා ඇළ දිගේ බලාගෙන ගියා. ලොකු කඳන් දෙකක් තිබුණා. ඒක අස්සේ සුදු පාටට පෙනුනා. ඊට පස්සේ ආමි එකේ එක්කෙනා කිව්වා ඒක යට බලන්න කියලා. එයා තමා කිව්වේ දරුවා ඉන්නවා මල්ලි කියලා. එයා දරුවාව ගත්තා. මම ෂර්ට් එක ගලවලා ඇඟට දාලා ගෙදරට එව්වා.”

මව්පිය රැකවරණය අත්‍යවශ්‍යම අවධියක පසුවූවත් අවුරුදු දෙක හමාරක් වන මේ දරුවා තනිව ඇළ දෙසට ගමන් කරන බව කාන්තාවක් විසින් දැක තිබුණි.

“දරුවා පාරට එනකොට බයිසිකලයකින් එක්කෙනෙක් ගිහින් තියෙනවා අම්මා දාන්න බස් එකට. අම්මා කියලා තියෙනවා අන්න දරුවෙක් එනවා කියලා පාරට. මෙයා අම්මව බස් එකට දාලා එනකොට තමයි මෙයාලා දරුවා හොයන්නේ. එයා තමයි කිව්වේ ළමයෙක් ආවා කියලා බෝතලයකුත් අරන්. දරුවා ගැන අවදානයෙන් හිටියා නම්…”

නෙළුව රෝහලේ තැන්පත් කර ඇති පුංචි දෙව්මිනගේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණය අද (16) සිදුකෙරුණි.

වැඩිදුර පරීක්ෂණ සඳහා දේහය කරාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතය.

මෙන්න බලන්න තවත් පුවත්