කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් සැරයන්වරයකු බීමතින් පැද වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී එහි ගමන් ගත් අවුරුදු එක හමාරක දියණියක ඇතුළු සිවු දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලීසිය පවසයි.

අනතුරින් පසුව තුවාල ලැබූ පියා සහ අවුරුදු 8 දියණිය ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු එක හමාරක දියණිය සහ මව නේවාසිකව රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඉන් අවුරුදු එක හමාරක දියණියගේ හිසට මැහුම් අටක් යොදා ඇතැයි ද පැවසේ.

මව පියා සහ දියණියන් දෙදෙනා අවුරුදු උදාවට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සහ ආහාර පාන රැගෙන මෝටර් රථයෙන් නිවසට යමින් සිටියදී මීගොඩ ආටිගල පාරේ බෝගහ අසල දී ඉදිරියෙන් පැමිණි වෑන් රථයක් එක්වරම මාර්ගයෙන් ඉවතට පැන විරුද්ධ මං මංතීරුවේ ධාවනය වෙමින් තිබූ මෙම මෝටර් රථයේ ගැටී අනතුර සිදුව තිබේ.

අනතුර සිදු කළ වෑන් රථය පැදවූ රියදුරු මත්පැන් සාදයකට සහභාගී වී නැවත එමින් සිටි කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශය ට අනුව සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.

අනතුරින් සැකකරූටද තුවාල සිදුව ඇති අතර පොලිස් අත්අඩංගුවට යටතේ ඔහුද හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි .

පැරණි පුවත් – ඇස්වහ කටවහ වදීවි යැයි දෙමව්පියන් කියූ නිසා සිසුවිය වැරැදියට පිළිතුරු ලියලා

ඇස්වහ කටවහ වැනි මතවාද දැඩි ලෙස විශ්වාස කළ මව්පිය දෙපළක් නිසා පසුගිය වාර විභාගයෙන් වැඩි ලකුණු ගත් දරුවකුට මෙවර වාර විභාගයෙන් ඉතාමත් අඩු ලකුණු ලබාගෙන පෙර තිබූ තම ස්ථානය ද අහිමි වූ පුවතක් මැදගම ප්‍රදේශයේ පාසලකින් අසන්නට ලැබුණි.

සිද්ධිය සැකෙවින් මෙසේ ය.

සෑම වාර විභාගයක දීම අදාළ සිසුවිය සෑම විෂයකටම ඉතාමත් දක්ෂ ලෙස පිළිතුරු ලියා පන්තියේ පළමු ස්ථානය ලබා ගත්තාය. පාසලේ ද හොඳින් වැඩ කටයුතු කළ නිසා ඇය සෑම දෙනාගේ සිත් දිනාගත් තැනැත්තියක ද වූවාය.

එසේ වැඩකටයුතු කරමින් සිටින අතරතුර මෙවර වාර විභාගය පැවැත්වුණි. එහිදී උත්තරපත්‍ර පරීක්ෂා කිරීමේ දී පන්තිභාර ගුරුවරියට දැක ගත හැකි වූයේ අදාළ සිසුවිය හිතාමතාම වැරදි පිළිතුරු සපයා ඇති ආකාරයයි.

සිද්ධියෙන් ඉතාමත් දුකට හා කේන්තියට පත් ගුරුවරිය සිසුවිය කැඳවා හේතු විමසන්නට විය.

එහිදී සිසුවිය ‘‘ටීචර්, පන්තියේ අන්තිමයා වුණාට කමක් නැහැ, පළවෙනියා වෙන්නෙ නැතුව, හැමදාම පළවෙනියා වුණාම මිනිස්සු ඉරිසියාවට ඇස්වහ කරනවා”‍ යැයි තම මව හා පියා පැවසූ බවත් පළවෙනියා වුණොත් මව්පියෝ දඬුවම් කරති යන බියෙන් වැරදි පිළිතුරු ලියූ බවත් ගුරුතුමිය සමග පවසා සිටියේ කඳුළු පිරි දෙනෙතිනි.

ගුරුතුමිය වහාම මව්පියන් කැඳවා ඔවුන්ට මේ පිළිබඳව කරුණු පහදා දුන් බවත් මින්පසු එසේ නොකරන බවට මව්පියන් ගුරුතුමියට පොරොන්දු වී ඇති බවත් වැඩිදුරටත් දැන ගන්නට ලැබුණි.

මෙන්න බලන්න තවත් පුවත්