කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුපුරයදී හමුදා සෙබළුන් ගමන් ගත් බස් රථයක් නවතා තිබූ යතුරුපැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ විසි දෙහැවිරිදි අවිවාහක තරුණියක මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .

මෙසේ මියගොස් ඇත්තේ කදාන රජයේ ඉඩම පදිංචිව සිටි විතානගේ දිමුතු රසාංජලී නැමැති විසි දෙහැවිරිදි පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරියකි.

මියගිය තරුණිය ඇගේ පෙම්වතා සමඟ උඩුවක ඇල්ල නරඹා ආපසු එමින් සිටියදී කජු මිලදී ගැනීම සඳහා යතුරු පැදිය නවතා තිබී ඇත.

තරුණිය යතුරුපැදියේ අසුනේ වාඩිවී සිටියදී පෙම්වතා කජු මිලදී ගැනීමට ගොස් ඇතැයි ද ඒ අවස්ථාවේ කොළඹ දෙසට ගමන් කළ හමුදා සෙබළුන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථය යතුරු පැදියේ ගැටීමෙන් තරුණිය බරපතළ තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.

රෝහලට ඇතුළත් කෙරුණු තරුණිය එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇති අතර බස් රථය කඩා වැදීමෙන් කජු අලෙවිය සඳහා තබා තිබූ කුටිය පොඩිපට්ටම් වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි .

යක්කල රණවිරු ඇපරල් ආයතනය වෙත හමුදා සෙබළ සෙබළියන් ප්‍රවාහනය කරන මෙම බස් රථය කුලී පදනම මත ලබා ගත් එකක් බව ද හෙළි වී ඇත.

වැස්ස ද පැවති අවස්ථාවේ බසයේ රියදුරාට එය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුවී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත

පැරණි පුවත් – රසකළ කිරි බී පෙරපාසල් දරු දැරියෝ 12 ක් රෝහලේ

පෙරපාසල් කාලයේ ලබාදුන් රසකළ කිරි වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව ඇතිවූ රෝගීතත්වයක් හේතුවෙන් කිලිනොච්චිය , භාරතීපුරම් හි පෙරපාසලක දරු දැරියන් 12 දෙනකු අද (04) දහවල් රෝහල් ගතකොට ඇතැයි කිලිනොච්චිය රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

භාරතීපුරම් ප්‍රෙද්ශයේ පෙරපාසලේ දරු දැරියන් වෙත වැඩසටහනක් අතරතුර ලබාදුන් රස කළ දියර කිරි වර්ගයක් පානය කිරීමත් සමඟ දරුවන් එලෙස රෝගී වී ඇති බවත් දරුවන්ට ක්ලාන්තය , වමනය සහ බඩ රිදුම් ඇතැළු විවිධ ආසාත්මික රෝගී තත්වයක් හටගෙන ඇති බවද රෝහල් ප්‍රකාශකයා කීය.

පෙරපාසල් දරුවන්ගේ මවුපියන් පැවසූයේ දියර කිරි ලබාදීමෙන් අනතුරුව තම දරුවන්ට ප්‍රථමයෙන් බඩ රිදීම වැනි රෝගී තත්වයන් පිළිබඳ පැවසූ අතර පසුව දරුවන්ට විවිධ ආසාත්මික තා ඇති වූ බවද පැවසීය.

කිලිනොච්චිය රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසූයේ රෝගීවූ දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් තවදුරටත් කිලිනොච්චිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්ය.

දරුවන් පානය කළ රසකළ දියර කිරි පැකට් පරීක්ෂා කිරීම සඳහා අවධානය යොමු කළ බවත් කිලිනොච්චිය මහ රෝහලේ ප්‍රකාශකයා පැවැසීය.

මෙන්න බලන්න තවත් පුවත්