
වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරගයක් පැවැත්වෙන අතරතුර යාබද ක්‍රීඩාංගනයක පැවැත්වූ රථ වාහන පෙළපාලියකදී සෆාරි ජිප්රථයක් අනතුරට ලක්විමේන් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
බදුල්ල ධර්මදූත විද්‍යාලයේ සහ ඌව මහා විද්‍යාල අතර පැවති 75 වන බදුලු ක්‍රිකට් සටන අද (01) උදෑසන ආරම්භ වූ අතර, ඊට සමගාමීවයි ධර්මදූත විද්‍යාලයේ සිසුන් විසින් යාබද ක්‍රීඩාංගනයක රථ පෙළපාලියක් සංවිධාන කර තිබුනේ.
ඊට පෙර ඔවුන් නගරයේ රථ පෙළපාලියක් පවත්වා තිබුණා.
කෙසේ වෙතත් මොවුන් එම පෙළපාලිය පවත්වා ඇත්තේ පොලීසිය විසින් එය නොපවත්වන ලෙස දැනුම්දී තිබියදී බවටයි තොරතුරු වාර්තා වන්නේ.
බදුල්ල මහ නගර සභාවට අයත් මල්වත්ත ක්‍රීඩාංගනයට වාහන ඇතුළත් කර ඔවුන් රථ පෙළපාලියේ ගමන් කරමින් සිටින අතරතුර සිසුන් පිරිසක් ගමන් ගත් ජිප් රථය අසල තිබූ කොන්ක්‍රීට් කණුවක ගැටී පෙරළී ගොස් අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුරට ලක්වූ සෆාරි ජිප් රථය පදවා ඇත්තේ ද උසස්පෙළ සිසුවෙකු බවට අනාවරණ වී තිබෙනවා.
අනතුරෙන් ජිවිතක්ෂයට පත්වු සිසුන් දෙදෙනාගේ සිරුරු මේ වන විට බදුල්ල පළාත්බද මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇති අතර, තුවාල ලැබු සිසුන් 9 දෙනෙකු එම රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි බදුල්ල පළාත්බද මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පාලිත රාජපක්ෂ කියා සිටියේ.