රත්නපුර, උඩනිරිඇල්ල පදිංචිව සිටි, උපාධිධාරිනියක වූ සචිනි ජිනාදරීගේ මරණය තවමත් පවතින්නේ අබිරහසක් ලෙසිනි.

ඒ ඇය මියගිය ආකාරය පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් හෝ අනාවරණය නොවූ නිසාය. සචිනිගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත් වූ රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් දුන්නේ විවෘත තීන්දුවකි.

රත්නපුර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මුදිත කුඩාගම මහතා එකී විවෘත තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

“මේ මරණයට නිශ්චිත හේතුවක් ප්‍රකාශ කළ නොහැකියි. ඇගේ ශරීරයේ තැළීමක් සිදුවී නැහැ. ගෙල සිර කිරීමක් හෝ සිදුවී නැහැ. ඒ වගේම ඇයට අතවරයක්ද සිදුවී නැහැ. විස ශරීර ගත වීමක්ද සිදුවී නැහැ.”

එලෙස නිගමනය කළ අධිකරණ වෛද්‍යවරයා තවදුරටත් පවසා ඇත්තේ, ඇගේ සිරුරේ බාහිරව හෝ අභ්‍යන්තරව කිසිදු තුවාලයක් හෝ තැළීමක් පෙනෙන්නට නැති බැවින් ඇය මියගියේ කෙසේද යන්න නිශ්චය කර ගැනීම සඳහා සචිනිගේ සිරුරේ ඇතැම් කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කළ යුතු බවය.

එසේ නම් සචිනි ජිනාදරීගේ මරණය කෙසේ සිදුවීද, රෝගී තත්ත්වයක් නිසා ඇයගේ මරණය සිදුවීද, එසේත් නැත්නම් කිසිවකු විසින් ඇය ඝාතනය කළේද යන ප්‍රශ්නවලට විසඳුම් ලැබීමට තවත් කාලයක් ගතවනු නියතය. කෙසේ වෙතත් ඇගේ සිරුර නිල්වලා ‍ෙදාළේ ජලයේ ගිලී තිබියදී සොයා ගැනීමද මෙම සැකමුසු තත්ත්වය තවත් තීව්‍ර කරලීමට සමත් වී ඇත.

ඇගේ මරණය ස්වාභාවික මරණයක්ද නැතහොත් ඝාතනයක්ද යන්න තවමත් නිගමනය වී නැතත් පොලිස් විමර්ශන සිදුවන්නේ සචිනි ජිනාදරීගේ මරණය ඝාතනයක් ලෙස සලකාය.

සචිනි දරු තිදෙනකුගෙත් යුත් පවුලක වැඩිමහල් දරුවා වන අතර ඇයට බාල සොහොයුරකු සහ සොහොයුරියක් සිටිති. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරිනියක වන ඇය, පවතින ආර්ථික තත්ත්වය හමුවේ රැකියාවක් සොයා ගත්තාය. ඒ රත්නපුර, හිදැල්ලන පිහිටි පරිගණක අධ්‍යාපන ආයතනයකය.

මේ වනවිට ඇය විවාහ වීමේ දැඩි බලාපොරොත්තුවෙන්ද සිටියාය. ඒ සඳහා දිනයක්ද යොදා ගෙන තිබිණි. පාදුක්ක ප්‍රදේශයේ පදිංචි තරුණයකු සමඟ ලබන වසරේ ජනවාරියේ විවාහ වීමට සිටි සචිනි අබිරහස් ලෙස මියයන්නේ ඒ අතරවාරයේය.

දිනපතාම උදෑසන 6.20ත් 6.30ත් අතරදී නිවෙසින් පිටව යන ඇය ඒ වේලාවට රත්නපුරයට යන බසයට ගොඩවීමේ අදහසින් බසය එන්නටත් කලියෙන් පාරට ගොඩ වන්නීය.

රාජකාරිය සඳහා රත්නපුර නගරයට යෑමට මාර්ග දෙකක් ඇය තෝරාගෙන තිබිණි. ඉන් එකක් රත්නපුර-ඇළපාත පාරයි. අනෙක් මාර්ගය පලාවෙල-රත්නපුර පාරයි.

“දුව වෙනදාට රස්සාවට යන්නේ ඇළපාත රත්නපුර පාරේ. ඒත් මේ ළඟදි ඉඳලා එයා ඒ පාරේ යන්නේ නැතිව පලාවෙල රත්නපුර පාරෙන් තමයි යන්නේ. ඒකට හේතුව ඇළපාත-රත්නපුර පාරේ ඇවිදගෙන යනකොට දවසක් ඒ පාරේ තියෙන ගෙදරක ඇතිකරන බල්ලෙක් බුරාගෙන මෙයාව හපා කන්න ඇවිත් තියෙනවා. ඒ නිසා මේ ළඟදි ඉඳලා එයා වැඩට ගියේ පලාවෙල-රත්නපුර පාරෙන්.”

ඇගේ මව දීපා ශ්‍රියාලතා පොලිස් නිලධාරීන් හමුවේ එසේ කියන්නට වූවාය.

සචිනි නිවෙසින් පිටවන මොහොතේ ඇගේ පෙම්වතාට දුරකථන ඇමතුමක් දීම සිරිතක් කරගෙන තිබුණාය. දෙවැනිවරට ඇය ඔහුට ඇමතුමක් දෙන්නේ රැකියා ස්ථානයට පැමිණි පසුය. ඒ ඇය රැකියා ආයතනයට පැමිණි බව පෙම්වතාට කීමටය.

වෙනදා මෙන් ඉකුත් 27 වැනිදාද උදෑසන 6.20ට නිවෙසින් පිටවී යන්නට පෙර සචිනි සිය පෙම්වතාට ඇමතුමක් දුන්නාය. එහෙත් දෙවැනි ඇමතුම ඇගෙන් ඔහුට ලැබුණේ නැත. ඒ වනවිට වෙනදා ඇය රැකියා ස්ථානයට එන වේලාවද පසුවී තිබිණි. මොහොතකට පසු ඔහු ඒ බව විමසමින් සචිනිගේ මව දීපාට ඒ බව දැනුම් දුන්නේය.

“අම්මේ සුදූ වැඩට ගිහින් නැතුව වගේ. මම කෝල් කළා. ෆෝන් එකත් ඕෆ් කරලා. පොඩ්ඩක් හොයලා බැලුවොත්….” සචිනිගේ පෙම්වතා දුන් එම පණිවුඩයත් සමඟ සචිනිගේ මව දීපා කලබල වූවාය.

“ඇයි පුතේ උදෙන්ම ගෙදරින් ගියානේ. ඔයාට කතා කළේ නැද්ද.”

“උදේ මට කතා කළා. වැඩට ගිහින් කෝල් එකක් ගත්තේ නැහැ. මම ගත්තා – ගත්තා ෆෝන් එකත් ඕෆ්. දැන් නම් වැඩට එන වෙලාවත් පසුවෙලා….”

“හොඳයි පුතේ මම හොයලා බලන්නම්.” දීපා ඇමතුම විසන්ධි කළේ ඉන් පසුවය. සචිනි සේවයට වාර්තා නොකිරීම ගැන ගෙදර අයද කලබල වූහ.

“අපි කෝකටත් එයා යන බස් එකෙන් අහමු.” සචිනිගේ ගෙදර පිරිස තීරණය කළහ. ඒ අනුව පලාවෙල හරහා උදෑසන 6.30ට රත්නපුරයට වෙනදා යන බස් රථයේ රියැදුරු සහ කොන්‍ෙදාස්තර හමුවූ සචිනිගේ මව හා දුව උදෑසන බසයෙන් රත්නපුරට ගියේදැයි විමසා බැලුවාය.

“අද නම් බස් එකේ යන්න ආවේ නැහැ.”

බස් සේවකයන්ගේ පිළිතුර විය. මින් දීපා තවත් කලබලයට පත්වූවාය.

“අනේ මගේ දුවට කරදරයක්වත් වෙලාද.

“පොඩ්ඩක් හොයලා බලමුකො” කියමින් ඇය අසල්වාසීන්ගෙන්ද සහාය ඉල්ලා සිටියාය.

සචිනි නිවෙසින් පිටවුණේ උදෑසන 6.20ට පමණය. ඇය සුපුරුදු බසයටද ගොඩවී නැත. එසේ නම් බසයට යන අතරමඟදී ඇයට කිසියම් අනතුරක් වී ඇතැයි නිවැසියෝ තීරණය කළහ.

පවුලේ අය සමඟ එකතු වූ අවට පිරිස්ද සචිනි සොයන්නට වෙහෙසුණහ.

“සචිනි අක්කා පාරදිගේ බස් පාරට යනවා අපි දැක්කා”

උදෑසන පාසල් යමින් සිටි දරුවන් පිරිසක් සචිනිගේ මවට කියන්නේ ඔය අතරවාරයේය. එසේ නම් සචිනිට සිදුවූයේ කුමක්ද? මෙය කාටත් ගෙන දුන්නේ දැඩි කුතුහලයකි. සිද්ධිය ඇළපාත පොලිසියට දැනුම් දෙනුයේ ඉන් පසුවය. ඒ සචිනිගේ මව විසිනි. ඇළපාත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සිතාර කරුණාරත්න ඇතුළු නිලධාරීන් සචිනිට සිදුවූ දේ සොයා විමර්ශන අරඹන්නේ ඉන් පසුවය.

ඒ වනවිටත් සචිනිට සිදුවූ දේ සොයමින් ප්‍රදේශවාසීහු ඒ අවට පීරන්නට වූහ. පොලිසියද ඒ දැනුම්දීම මත සචිනි රැකියාවට ගිය මාර්ගය ඔස්සේ සිය විමර්ශන පටන් ගත්තේය.

මොහොතක් ගතවිය. වේලාව දහවල් 12.35 පමණ වී තිබිණි. පිරිස ලඳු කැලෑ පීරමින් ඇය සොයද්දී ඇය ඇවිද ගිය මාර්ගයේ බෝක්කුවක් ආසන්නයේ නිල්වලා ‍ෙදාළේ ජලයේ ගිලී තිබූ ඇගේ සිරුර ඔවුනට මුණ ගැසිනි.

“ඒ, ‍ෙදාළ පැත්ත බලාගෙන බල්ලෙක් එක දිගට බුරන්න වුණා. අපි ඒ මොකද කියලා බලන කොට ‍ෙදාළ පාරට කබරයෙක් ඇවිත් ඉන්නවත් දැක්කා. පස්සේ හොයලා බලනකොට තමයි සචිනි එතන වැටිලා ඉන්නවා දැක්කේ” ප්‍රදේශවාසියකු අප සමඟ කීවේය. පසුව මේ සම්බන්ධයෙන් ඇළපාත පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් එතැනට පැමිණ පරීක්‍ෂණ කටයුතු කරද්දී වටහා ගත්තේ සචිනි ජිනාදරී ඒ වනවිටත් මරු තුරුලට ගොස් ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්ව දැනුවත් කළ ස්ථානාධිපතිවරයා ඔවුන්ගේ උපදෙස් මත ඉදිරි විමර්ශන මෙහෙයවිය. සචිනිගේ මළ සිරුර සොයාගත් ස්ථානය වටා කහ පැහැති ආරක්‍ෂක පටි යෙදවීමෙන් පසු ඒ සම්බන්ධ විමර්ශන සඳහා රත්නපුර ‘සොකෝ’ අංශයටත්, නිල සුනඛ ඒකකයටත්, මහෙස්ත්‍රාත් අධිකරණයටත් ඒ බව දැනුම්දීමට ඔහු පියවර ගත්තේය.

ඇගේ සිරුර තිබූ ස්ථානයට පැමිණ රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් සුමිත් ආනන්ද මහතා ස්ථානීය පරීක්‍ෂණයක් සිදු කරන්නට විය. ඉන් අනතුරුව ඇගේ සිරුර රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යැවීමට වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඒ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහාය.

නිල්වලා ‍ෙදාළේ සැඟව මරු වැලඳ ගත් සචිනි ජිනාදරීගේ මරණය ඇගේ මවුපියන්ට මෙන්ම ඥාතීන්ටද දැඩි කුතුහලයක් ගෙන දුන්නේය. ඒ ඇය එසේ මරණයට පත්වීමට තරම් තුඩුදුන් කරුණු කාරණා කිසිවක් සොයාගත නොහැකි වීම නිසාය.

ඔවුන්ට තිබූ තවත් ගැටලුවක් වූයේ සචිනිගේ ජංගම දුරකථනය හමුනොවීමය. මවුපිය-ඥාතීන් සචිනිගේ සිරුර තිබූ තැන හෝ ඒ අවට ඇගේ ජංගම දුරකථනය වැටී ඇතැයි යන සැකය මත එය සොයන්නට දැඩි උත්සාහයක් ගත්තද කිසිදු තැනක එය නොවීය. එසේ නම් ඇගේ ජංගම දුරකථනයට සිදුවුණේ කුමක්ද.

එමෙන්ම ඇගේ සිරුර මත කොළරොඩු මෙන්ම මී ගසක අත්තක්ද විය. කිසිවකු එම මී අත්ත ඇගේ සිරුර මත දමා ගියේද, මෙය ඇගේ ඥාතීන්ට වූ තවත් සැකයකි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඇළපාත ගමේ වැඩිහිටි දෙතුන් දෙනකුම කීවේ, යම් අපරාධයක් සිදුකළ ස්ථානයකට මී ගසක අත්තක් දැමීමෙන් පොලිස් සුනඛයාට ඉව කළ හැකි ප්‍රමාණය අඩුවන බවට අතීතයේ සිටම කතාවක් ඇති බවය.

එය සැබෑවක්ද යන්න නිශ්චිත නැතත් නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගෙනෙන ලද නිල සුනඛයාට ඉවට ලබාදී ඇත්තේද එම මී ගස් අත්තය. මී ගස් අත්තේ ඉව ලබාගත් නිල සුනඛයා එතැන තිබූ ‍ෙදාළේ අත්වාරු නැති බැම්ම මතට නැඟ නැවතිණි. එතැනින් එහාට ගියේ නැත. බැම්ම මත සිටි සුනඛයා සචිනිගේ සිරුර දෙස බලමින් බුරන්නට විය. ඒ අතරතුර ගමේ කිහිපදෙනකු අතර ඇතිවූ කතා බහෙන්ද කියැවුණේද මී අත්තට සුනඛයාට ඉව ලබාගත නොහැකි බවකි.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී සචිනි ජිනාදරීගේ මරණය සම්බන්ධයෙන් ලබාදී තිබුණේ විවෘත තීන්දුවකි. ඒ අතර මෙහි පුදුමය දනවන සිද්ධියක්ද විය. සචිනිගේ සිරුර සොයාගත් දිනට පසුදා ඇය මරා දමා තිබූ ස්ථානයේ තිබී අතුරුදන්ව තිබූ ඇගේ ජංගම දුරකථනය හමුවීමය.

“අපි සචිනි දුවගේ මිනිය හම්බවෙච්ච දවසේ ඔය හැම තැනම එයාගේ හෑන්ඩ් ෆෝන් එක හෙව්වා. ඒත් හම්බ වුණේ නැහැ. පසුවදා ආයෙත් ඒ පැත්තේ ගිහින් බලන කොට එයාගේ ෆෝන් එක වැලි අස්සේ තිබුණා” සචිනිගේ ඥාති දියණියක් කීවාය. ඉකුත් 28 වැනිදා රත්නපුර ශික්‍ෂණ රෝහලේදී සචිනි ජිනාදරීගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකෙරිණි. ඒ සඳහා ඇගේ මව, පියා ඇතුළු සියලු ඥාතීහු සහභාගි වූහ. ඉන් අනතුරුව යළි නිවෙස බලා එද්දී ඔවුහු සචිනිගේ මළසිරුර තිබූ තැනට ගියහ. සචිනිගේ ජංගම දුරකථනය ඔවුන්ට දැක ගැනීමට හැකිව ඇත්තේ ඒ මොහොතේදීය.

“එයාගේ මිනිය තිබුණේ වැලියි වතුරයි තියෙන තැනක. එයාගේ හෑන්ඩ් ෆෝන් එක කෙළින් අතට වැලි අස්සේ ගහලා තිබුණා. පැය 24කට පස්සේ තමයි අපි ඒක දැක්කේ. ඒක හරිම පුදුමයි. අපි පස්සේ මේ ගැන ඇළපාත පොලිසියටත් දැනුම් දුන්නා.” සචිනිගේ ඥාතියකු එලෙස පවසමින් කියා සිටියේ, ඊට පෙරදා එම ස්ථානය හොඳින් පිරික්සුවද සොයා ගැනීමට නොහැකි වූ සචිනිගේ ජංගම දුරකථනය පැය 24කට පසුව මෙසේ මතුවීම විශාල ගැටලුවක් බවය. මේ සිද්ධිය ඇළපාත පොලිස් ස්ථානාධිපතිවරයාද තහවුරු කළ අතර ජංගම දුරකථනය එලෙස හමුවී ඇති නිසා එහි සිම් අංකය ඔස්සේ විමර්ශනයක් සිදුකරන බව ස්ථානාධිපතිවරයා පවසා සිටියේය.

සචිනි ජිනාදරී ඝාතනය වූ බවක් පෙනෙන්නට කිසිදු සලකුණක් හෝ හෝඩුවාවක් නැතත් ඇගේ සිරුරේ බාහිරව හෝ අභ්‍යන්තරව පෙනෙන්නට කිසිදු තුවාලයක් හෝ තැළීම් ලකුණක් පෙනෙන්නට නැතත් ඇගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා සබරගමුව පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා විසින් කණ්ඩායම් දෙකක් පත් කර තිබේ.

ඉන් එක් කණ්ඩායමක් ඇළපාත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙහෙයවන ලබනු අතර අනෙක් විමර්ශන භාරදී ඇත්තේ රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙතය.

එම කණ්ඩායම් විසින් සචිනිගේ මවුපියන්, පෙම්වතා ඇතුළු ඒ අවට කිහිපදෙනකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇතත් සචිනිගේ මරණය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් හෙළිව නැත. මෙය විමර්ශනවලටද මහත් ගැටලුවකි.

එසේ නම් සචිනි එම ‍ෙදාළ පහළට වැටුණේද, ඒ කිසියම් අසනීප තත්ත්වයක් හේතුකොට ගෙනද, හෘදයාබාධයක් ඊට හේතුවී ඇත්ද, එය මේ වනවිට මතුවී ඇති එකම සැකය වේ. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයකු තුළ එවන් සැකයක් මතුවී ඇති නමුත් එය නිශ්චිත වශයෙන් තහවුරු වී නැත.

කෙසේ වෙතත් ඇගේ මරණයට නිශ්චිතම හේතුවක් දැන ගන්නට ලැබෙන්නේ රස පරීක්‍ෂක වාර්තාව අනුවය. මේ වනවිට මියගිය සචිනිගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවා ඇත. එහෙත් එම වාර්තාව ලැබීමට තව දින කිහිපයක් ගත වනු නොඅනුමානය. රස පරීක්‍ෂක වාර්තාවෙන් සචිනිගේ මරණය ස්වාභාවිකව සිදුවූවක්ද නැතහොත් එය ඝාතනයක්ද යන්න තීරණය වනු ඇත. එතෙක් ඇගේ මරණය තවමත් අබිරහසකි.

සැක සංකා ගණනාවක් සමාජයට ඉතිරි කරමින් මරණයට පත්වූ උපාධිධාරිනි සචිනි ජිනාදරී විශාල පිරිසකගේ සෝසුසුම් මැද ඉකුත් 29 වැනිදා අවසන් ගමන් ගියාය.

මහා සංඝරත්නයේ ආගමික වතාවත් හා අනුශාසනා මැද පවුලේ ඥාති හිතවතුන්, යහළු යෙහෙළියන් ඇතුළු ප්‍රදේශවාසී විශාල පිරිකගේ හැඬ­ූ කඳුළු මැද වයස අවුරුදු 25කදී අකල් මරණයකට ගොදුරු වූ සචිනි ජිනාදරී ඒ

හැමගෙන් සමුගෙන අවසන් ගමන් ගියද ඇගේ මරණය ගැන පැතිරී යන කටකතා විමර්ශන නිලධාරීන්ට පවා ගෙනදී ඇත්තේ ගැටලුවකි.

සබරගමුව පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් සහ අධීක්‍ෂණය මත විමර්ශන සිදු කෙරේ.

කීර්ති මෙන්ඩිස්
පින්තූර-කේ. ඒ. එස්. පියතිලක-කුරුවිට
mawbima

මෙන්න බලන්න තවත් පුවත්