කිලිනොච්චිය ප්‍රදේශයේ පාසලක නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් අතරතුර දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පාසල් සිසුවියන් ඇතුළු 5 දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ක්‍රීඩා උත්සවය නැරඹීමට පැමිණි දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී කුපිත වූ පිරිස් ලී පොලු සහ යකඩ බටවලින් පහර දීමත් සමඟ පාසල් සිසුවියන් පිරිසක් ද ප්‍රහාරයට මැදි වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

පාසල් භූමිය තුළ ඇති වූ මෙම ගැටුමට විරෝධය පළ කරමින් මව්පියන්, ගුරුවරුන් හා ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක ද නිරතව වුණා.

මේ අතර මහනුවර – තලාතුඔය ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවේ දී එම නිවැසියන් පොලිසියට විරෝධය පළ කිරීම සම්බන්ධ විඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංචරනය වනවා.

එහිදී නිවැසියන් චෝදනා කරන්නේ, මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කරමින් තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් උත්සාහ කළ බවයි.

කෙසේ වෙතත් නිවැසියන්ගේ විරෝධතාව හේතුවෙන් එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් තරුණයා අත්අඩංගුවට නොගෙන පිටව ගොස් තිබෙනවා.

අප කළ විමසීමක දී තලාතුඔය පොලිසිය සඳහන් කළේ පසුව ද අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවයි.

පැරණි පුවත් – මහේල හැමතිස්සෙම කණ්ඩායම සමග යන්නේ නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි.

නවසීලන්ත තරග සංචාරය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මහේල ජයවර්ධන නොසිටීම සම්බන්ධව පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ බව කියා සිටී.

එම කරුණු පැහැදිලි කිරීමේ මෙසේද දැක්වේ.

පුහුණු උපදේශකවරයා ලෙස මහේල ජයවර්ධනගේ කාර්යය වී ඇත්තේ රටේ සියලුම ජාතික කණ්ඩායම් භාරව කටයුතු කිරීමත් සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකයින් සහ කළමනාකරණ කණ්ඩායම් සඳහා අවශ්‍ය උපාය මාර්ගික සහයෝගය ලබා දීම වේ.

ඒ අනුව මහේල පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් සංවර්ධනය කරන වැඩසටහන්, දේශීය ක්‍රිකට් ශක්තිමත් කිරීම සහ වයස අවුරුදු 19 න් පහළ, සංවර්ධන සහ ජාතික කණ්ඩායම් සංවර්ධනය කිරීම් කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ඔහුගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැඟුණහොත් පමණක් මහේලව තරග සංචාරයන් සඳහා සහභාගි කරවාගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි.

මෙන්න බලන්න තවත් පුවත්