
ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වී ඇති බව වටවල පොලිසිය පැවසීය.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වන්නිආරච්චි කම්කානන්ගේ ප්‍රදීප් කුමාර අල්විස් (30) නමැති වීරපිටිය මොරගහපල්ලම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
කුලියාපිටිය ප්‍රදේශයේ සිට හැටන් දක්වා රා ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ හැටන් සිට ගිනිගත්හේන දක්වා ධාවනය කළ යතුරුපැදියක් ගැටී මෙම අනතුර සිදු වී ඇති බවත්, මෙම අනතුරු 28 දින පස්වරු 3.30 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දියගල ප්‍රදේශයේදී සිදු වී ඇති බවත් අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන වටවල පොලිසිය කියා සිටියේය.
අනතුර හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබුණි.
පැරණි පුවත් – ඉහවහ ගිය කරුණාවන්තකමක් මවාගෙන, වයසක අයගේ බැංකු කාඩ්වලට විදින හැටි. ලක්ෂ දහයකට එහා සල්ලි ගැරූ තරුණයා
ඒ.ටී.එම්. බැංකු කාඩ්පත්වලින් මුදල් ලබා ගැනීම සඳහා බැංකුවලට පැමිණෙන වයසක උදවිය නොමග යවා සූක්ෂම අන්දමින් ඔවුන්ගෙන් එම බැංකු කාඩ්පත් ලබාගෙන පසුව ඒවා භාවිතා කර එම බැංකු ගිණුම්වලින් වංචනික ලෙස මුදල් ලබා ගැනීමේ යෙදුන මත්කුඩු ලෝලියෙකු කිරිබත්ගොඩ පොලිසිය මගින් ඉකුත් සෙනසුරාදා (25 වැනිදා) අත් අඩංගුවට ගෙන ඇත.
ඒ සමගම මේ සැකකරු ළඟ තිබී අන්සතු ඒ.ටී.එම්. බැංකු කාඩ්පත් 14 ක් ද පොලිස් භාරයට ගැනිණි.
මේ සැකකරු කිරිබත්ගොඩ නගරයේ සම්පත් බැංකුව අසලදී හෙරොයින් ග්‍රෑම්ස් 02 යි මිලි ග්‍රෑම්ස් 200 ක් සමග අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඒ.ටී.එම් බැංකු කාඩ්පත් හිමිකරුවන් නොමග යවා එම බැංකු ගිණුම්වලින් වංචනික ලෙස මුදල් ලබා ගන්නා බවට භෙළි කර ගැනීමට හැකිවිය.
සැකකරු විසින් බැංකු වෙත ඒ.ටී.එම්. කාඩ්පත් වලින් මුදල් ලබා ගැනීමට පැමිණෙන වයසක උදවිය මුලා කොට ඔවුන්ට මුදල් අරන් දෙන්නම් බවට පවසමින් කරුණාවන්තකමක් පෙන්වා ඔවුන්ගෙන් කාඩ්පත සමග රහස් අංකයත් ලබාගෙන ඔවුනට එම මුදල් අරන්දී වෙනත් කාඩ්පතක් ලබා දෙනු ඇත.
පසුව ඔවුන් නික්ම යාමෙන් පසුව සැකකරු විසින් එම කාඩ්පත භාවිතා කර එම බැංකු ගිණුම්වලින් මුදල් ලබා ගන්නා බව කියති.
මේ ආකාරයට සැකකරු මෙම බැංකු කාඩ්පත් භාවිතා කර මේ වනවිට රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් ලබා ගෙන තිබෙන බවට සැක කරයි.
මේ පිළිබඳව පොලිසියට පැමිණිලි ලැබී තිබෙන අතර ඒ අනුව මොහු පොලිසිය සොයමින් සිටි පුද්ගලයෙකු වේ. සැකකරු බුත්පිටිය, පස්ගම්මන ප්‍රදේශයේ පදිංචි විසිහතර හැවිරිදි තරුණයෙකි.
මෙම වැටලීමට කිරිබත්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක මංජුල ද සිල්වා, පො කො. පත්මසිරි (79778) හා සුගන්ද (20689) යන නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායමක් සහභාගී වූ අතර නඩු මෙහෙයුම් අංශයේ සැරයන් අරුණ කුමාර (27909), පො.කො. කුලසිංහ (10789) හා රත්නායක (90071) යන නිලධාරීහු විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරති.
දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති
දිවයින