බේරුවල පොලිස් වසමට අයත් හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පාළු පෙදෙසකදී කතකට අතවර කිරීමට සැරසුණු අයෙකු එම කාන්තාව විසින් තල්ලු කර දැමීමෙන් පසුව එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධව බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

දැනගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේය. 35 වියැති මෙම කාන්තාව වාද්දුව ප්‍රදේශයේ ඇති සංචාරක හෝටලයක සේවය කරන්නියකි. ඇය පසුගිය 26 වැනිදා රැකියාවේ වැඩ කටයුතු නිම කොට බේරුවලට පැමිණ ඇත්තේ පස්වරු 6.30 ට පමණය. එහිදී මීට පෙරද නිතර මුදල් ගනුදෙනු කරන දන්නා හඳුනන මේ පුද්ගලයාගෙන් රුපියල් 1000 ක් ඉල්ලා ගෙන ඇති අතර, පසුව ඔහුගේ ත්‍රිරෝද රථයටම නැගී නිවෙසට යාමට ගොස් තිබේ. නිවෙස පසුකර තවත් ඉදිරියට යන විට ඒ ගැන විමසූ විට කිසිවක් කතා නොකර සිටි මේ පුද්ගලයා තවත් ඉදිරියට ගොස් හෙට්ටිමුල්ල රිචන්ට් ස්ටේට් නමැති වෙන්දේසි ඉඩම අසලදී රිය නවතා අතවරයට සැරසෙද්දී ඔහුව තමා තල්ලු කර දැමූ බවත්, බිම වැටුණු ඔහු මීමැස්මොර රෝගියෙකු මෙන් වෙව්ලන්නට වූ නිසා නිවෙසට දිව ගොස් සැමියා සමග පැමිණ, පසුව පොලිසියට ගොස් පැමිණිල්ලක් කළ බවත් දැනගන්නට ඇත.

ඒ අනුව මේ පුද්ගලයා වැටී සිටි තැනට පොලිසිය පැමිණ ඇති අතර, පසුව 1990 ගිලන් රථයද ගෙන්වා ඇතත්, ඒ වන විටත් මිය ගොස් ඇති බව දැනගන්නට ලැබී ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ බේරුවල, මොරගල්ල අංක 110 ලිපිනයේ පදිංචිව සිටි, 63 වියැති කුඩාදුර නිමල් තිලකසිරි ද සිල්වා නමැති අයෙකු බවත් හඳුනා ගෙන ඇත. මේ පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ අතර, බේරුවල පොලිස් ස්ථානාධිපතිගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

නියාගම විල්සන්ට් විජේසිංහ
දිවයින

පැරණි පුවත් – දෙදරු මව බදාගෙන කම්මුල් පාරක් කාලා ලැජ්ජාවට කාටවත් කියන්න එපා කියා සල්ලිත් දීලා ගිහින්

රත්ගම බූස්ස ප්‍රදේශයේ දෙදරු මවකට අතවර කළ දෙදරු පියෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 වියේ පසුවන අයෙකි. මොහු මෙම කාන්තාවගේ නිවසට ගොස් වතුර වීදුරුවක් ඉල්ලා ඇත. කාන්තාව වතුර වීදුරුව රැගෙන ඒමට නිවස තුළට ගිය අවස්ථාවේ සැකකරු ඇයගේ පිටුපසින් ගොස් කාන්තාව බදාගෙන ඇත. ඒ සමග කාන්තාව සැකකරුට කම්මුල් පහරක් එල්ලකොට තිබේ. සැකකාර පුද්ගලයා රුපියල් 1000ක මුදලක් නිවස තුළ තබා මේ ගැන කාටවත් නොකියන ලෙස පවසා පිටව ගොස් ඇත.

කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. රත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

මෙන්න බලන්න තවත් පුවත්