
තාත්තෙක්ට දුවෙක් කියන්නෙ ආත්මයක්, මුලු ජීවිතයක්..ඒ විදිහේ තාත්තෙක් නොසිතූ මොහොතක අහිමි වීම දියණියක් කොහොම දරාගන්නද ?
ඒ මොහොත කොහොම විඳවන්නද ?
ඒ විදිහේ දියණියක් ලියූ සංවේදී සටහනක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.
තම පියා නිසි ප්‍රතිකාර ලබා නොදීම නිසා මරු වැළඳගත් බවටයි එම දියණිය චෝදනා කරන්නෙ.
ඇය තැබූ සම්පූර්ණ සටහන පහතින් බලන්න…
2023.02.28 වෙනිදා මගේ රත්තරං තාත්තා අපිව සදහටම දාලා නොඑන ගමන් ගියා.පහුගිය පෙබරවාරි 28 වෙනිදා මගේ තාත්තා හදිසියේම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුල් වෙන්නේ ගලයින්ඩර් එකට දකුණු අතේ අල්ල කැපිල සිදු වූ තුවාලයට බෙහෙත් දමා ගැනීමට.
මගේ අම්මත් සමග ඉක්මනින් රෝහලට ආව තාත්තා ගම්පහ රෝහලේ ප්‍රාථමික අංශයෙන් මූලික ප්‍රතිකාර ලබා ගත්තා.මගේ තාත්තාගේ අතේ x-ray ගත්තාම කිව්වා අතේ අස්ථි වලට කිසිම හානියක් වෙලා නෑ තුවාලෙට මැහුම් දාන්න ඕනි 7වෙනි වාට්ටුවට යන්න කියලා.
මගේ තාත්තාගෙ අත කැපිලා තිබුණත් එවෙලෙ එයා හොඳ සෞඛ්‍ය මට්ටමකින් හිටියා.තුවාලෙන් යම් ප්‍රමාණයක් ලේ ගියත් එයාට අඩුම ගානේ කලන්තයක්වත් හැදුනෙ නැහැ.
7 වෙනි වාට්ටුවේ මේ වෙලාවේ හිටියෙ තිළිණි කියන ගැබිණි කාන්තා වෛද්‍යවරිය.මගේ තාත්ත 7 වැනි වාට්ටුවේ පැය එකහමාරකටත් වැඩි කාලයක් රැඳී හිටියා.මේ ඉන්න අතරතුරේදි මගේ තාත්තගේ පපුවේ දැවිල්ලක් ඇවිල්ල තියනවා.අම්මා මගේ තාත්තව ඉක්මනින් බලන්න කියලා මේ වෛද්‍යවරියට කිව්වත් ඇය එය කිසිම ගානකටවත් අරන් තිබුණේ නෑ. මනුෂ්‍යත්වය කියන දේ අල්ප මාත්‍රයක්වත් නැති මේ වෛද්‍යවරිය අපේ අම්මට කියලා තියෙනවා “මේ ලියන්නෙත් අමාරු ලෙඩ්ඩුන්ගේ ඒව තමයි ඔහොම ඉන්න” කියලා.
ඊළඟට ආයෙත් පාරක් මගේ තාත්තා පපුව අල්ලගෙන දඟලලා තියෙනවා “අනේ මගේ දැන් අතට වැඩිය දැවිල්ල පපුවයි”කියලා.මේ වෙලාවේ ආයෙත් මගේ අම්මා කෑ ගහලා තියෙනවා අනේ ඩොක්ටර් මෙයාට අමාරුයි බලන්නකො කියලා.මේ විදිහට මගේ තාත්තා 7 වෙනි වාට්ටුව තුල පැය 2කට ආසන්න කාලයක් කිසිම ප්‍රතිකාරයක් නැතුව ඉඳලා තියෙනවා.
අන්තිම මොහොතෙ මගේ තාත්තට පුටුවෙන් ඇවිල්ල වාඩි වෙන්න කිව්වාම මගේ තාත්තා නැගිටලා වෛද්‍යවරිය ළඟ පුටුවෙන් වාඩි වෙලා තියෙනවා.එවෙලත් මෙම වෛද්‍යවරිය මගේ තාත්තා ඉඳගත්ත ලග වැඩියි පුටුව පස්සට අරන් වාඩි වෙන්න කියලා තියෙනව.අන්තිමට මගේ තාත්තා පුටුව පිටිපස්සට අරන් වාඩි වෙනවත් එක්කම මගේ තාත්තාගේ ඇස් දෙක උඩ ගිහින් පුටුවෙදිම නැතිවෙලා.ඉන් පස්සෙ ඇඟ පණ නැතිව බිමට ඇදන් වැටිල.මේ දොස්තරගේ කකුල් දෙක ගාව මගේ තාත්තා මැරිලා ඇදන් වැටෙනකම්ම මගේ තාත්තා ගැන කිසිම නර්ස් කෙනෙක්වත් මේ ඩොක්ටර්වත් ඇහැක් ඇරලා බලලා නෑ.
අත කැපුන එකට බෙහෙත් දාගෙන එන්න ගිය මගේ තාත්තා අන්තිමට ගෙදර ආවේ මිනී පෙට්ටියෙන්.ඕනම කෙනෙක් රෝහලකට යන්නෙ අසරණ වෙලා. ඇයි මේ වගේ කිසිම මානුෂීය හැඟීමක් නැතුව දොස්තරවරු හැසිරෙන්නෙ? මනුස්සයෙක් ඩොක්ටර් කෙනෙක් ඉස්සරහ මැරිල වැටෙනකම් ගණන් ගන්නැතුව ඉන්න තරම් ඇයි මෙහෙම අමානුෂික වෙන්නේ?ඩොක්ටර් කෙනෙක් කියන්නේ මිනිස්සුන්ට දෙවියෙක් වගේ.
ඒත් මේ වගේ අමනුෂ්‍යයන් ගම්පහ මූලික රෝහලේ ඉන්නවා.දැනටත් ඉන්නවා.ඩොක්ටර්ස්ලගෙ නොසැලකිලිමත්කම නිසා සිදුවුණු පළවෙනි මරණය නෙමෙයි මගෙ තාත්තා.ඒගොල්ලන්ට එක තප්පරයක් ඇති මනුස්සයෙක්ගේ ජීවිතයක් බේරන්න.දෙවිවරු වගේ ඩොක්ටර්ස්ලත් ඉන්නවා ඒත් ඒ අතරෙ මේ වගේ අමනුස්සයොත් ඉන්නවා..
මේ වගේ වෛද්‍යවරුන්ට නීතිය හරියට ක්‍රියාත්මක වෙයි කියලා අපි ඉවසීමෙන් බලාගෙන ඉන්නවා.මම මේ පෝස්ට් එක දාන්නෙ මගෙ තාත්තට වුණු දේ හැමෝම දැනගන්න ඕනි නිසා වගේම අන්තිමට කියන්න තියෙන්නෙ කවදාවත් ලෙඩකට දුකකට ගම්පහ හොස්පිට්ල් එකට යන්න එපා මැරිල එන්න වෙන්නෙ.
Sithara Hettiarachchi