නීතිය සහ සාමය බලාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉටු කරනු ලබන කාර්ය භාරයට පොලිස් නිල සුනඛයන්ගෙන් ලැබෙන්නේ ඉමහත් සහයෝගයකි.

ඒ අතර පුහුණු කරනු ලැබූ මෙම නිල සුනඛයන්ගෙන් අපරාධ විසඳීම සඳහා ලැබෙන මෙහෙවරද සුළුපටු නොවේ.

මේ නිසා මෙවන් දක්‍ෂතා ඇති නිල සුනඛයන්, ඇතැම්හු “කකුල් හතරේ” රහස් පරීක්‍ෂකවරුන් ලෙසද හඳුන්වති.

දිවයින පුරා සිදුවූ අබිරහස් මිනිස් ඝාතන විශාල සංඛ්‍යාවක් පොලිස් නිල සුනඛයන් නිසා අනාවරණය වූ අවස්ථා එමටය. අපරාධයක් සිදු කළ පුද්ගලයකු සොයා ගැනීම සඳහා නිල සුනඛයාට අමතරව හසුරුවන්නාද දැඩි කැපවීමක් කළ යුතුය. නිල සුනඛයාත් හසුරුවන්නාත් අතර ඇති සහ සම්බන්ධතාව අපරාධ විසඳීමේදී මහත් සේ ප්‍රයෝජනවත් වේ.

පොලිස් නිල සුනඛයකුගේත්, හසුරුවන්නාගේත් දක්‍ෂ රාජකාරිය නිසා තවත් අබිරහස් මිනිස් ඝාතනයක සුලමුල සොයා ගැනීමට ඉකුත්දා මහනුවර පොලිස් කොට්ඨාසයේ අලවතුගොඩ පොලිසියට හැකි විය.

ධනුකා මධුවන්ති, අලවතුගොඩ, ඇල්ලකඩේ පදිංචිකාරියකි. ඇය 26 වැනි වියේ පසුවූවාය. තත්සර සමඟ විවාහ වී සිටි ඇය ඇල්ලකඩේ හන්දියේ කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන ගියේ සිය සැමියාද සමඟිනි.

මොවුන්ගේ නිවෙස පිහිටියේ වෙළෙඳසලට මීටර් 200ක් පමණ ඈතිනි. රාත්‍රි හත අට වෙද්දි වෙළෙඳසල වසාදමා නිවෙසට යෑම දෙදෙනාම පුරුද්දක් කරගෙන සිටියද වෙන අඹුසැමියන් අතර මෙන් මේ දෙදෙනා අතරද ආරවුල් අඬදබර නැතුවා නොවේ. මේ බව අහල පහළ අයද දැන සිටි අතර නිතර නිතර ඇහෙන අඬදබර ගැන පිටස්තරයන් අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට නැත.

ඒ ඉකුත් 10 වැනිදාය. සුපුරුදු පරිදි වෙළෙඳසල විවර කරගෙන සිටි ධනුකා රාත්‍රි හතයි තිහට පමණ වෙළෙඳසල වසා දැමුවේ සැමියාට මළ ගෙදරකට යෑමේ අවශ්‍යතාවක් තිබූ නිසාය.

“ඔයා කඩේ වහලා ගෙදර යන්න. මම මළගෙදරට ඔළුව දාලා ඉක්මනට එන්නම්…”

බිරියට එසේ කී තත්සර ගමේ අවමඟුල් ගෙදරට ගිය අතර, ධනුකා කඩය වසා දමා නිවෙසට යෑමට මාර්ගයට අවතීර්ණ වූවාය. මළ ගෙදර සිටි තත්සරට කාලය ගෙවී යන බවක් දැනුණේ නැත. පැය පහ හයක් මළ ගෙදරට වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටි ඔහු යළි නිවෙසට එන විට පසුදා අලුයම දෙකටද ආසන්න වී තිබිණි.

නිවෙසට පැමිණි ඔහු බිරිය නිදා සිටින කාමරයට ගියද ඇය එහි පෙනෙන්නට සිටියේ නැත. නිවෙසේ සෑම තැනකම සොයා බැලුවද ධනුකා තියා ඇගේ සේයාවක්වත් ඔහුට දැක ගැනීමට හැකි වූයේ නැත. තත්සර මෙහිදී මඳක් කලබල විය. ඔහු සිය නැන්දණියටද ඇමැතුමක් දෙමින් බිරිය එහි පැමිණියේ දැයි විමසුවේය. ඔහු වෙළෙඳසල වෙතද දිවගොස් බිරිය සෙවීය. එයද වසා දමා තිබුණේය. මින් බියට පත් ඔහු අවට සිටියවුන්ට මේ බව දන්වා සිටියේය.

“අපි කෝකටත් පොලිසියට කියමු.”

අලවතුගොඩ පොලිසිය ධනුකාගේ අතුරුදන් වීම ගැන දැනුවත් වන්නේ ඉන් පසුවය. ඒ තත්සර විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල සමඟය. ස්ථානාධිපති සුජීව ගුණතිලකට මේ බව දැනුම්දීමත් සමඟ ඔහු ජංගම රථය ධනුකාගේ නිවෙස දෙසට යවන්නේ ඇයට වූයේ කුමක්දැයි සොයා බැලීම සඳහාය. 11 වැනිදාට පහන් විය.

නිලධාරීහු ධනුකාගේ සැමියාගෙන් පෙරේදා රාත්‍රියේ වෙළෙඳසල වසා දැමීමේ අවස්ථාවේ සිට ඇය අතුරුදන්වූ මොහොත දක්වා කරුණු කාරණා විමසන්නට වූහ.

“මට මළගෙදරට යන්න තිබුණා. ඒ නිසා මම කිව්වා එයාට කඩේ වහලා ගෙදර යන්න කියලා. ඒත් එයා ගෙදර ඇවිත් තිබුණේ නැහැ…” තත්සර නිලධාරීන්ට කීවේය.

ඉන් අනතුරුව නිලධාරීන් ඒ අවට පදිංචිකරුවන්ගෙන්ද ධනුකාගේ අතුරුදන් වීම ගැන තොරතුරු විමසන්නට විය. ඒ කුමක් හෝ හෝඩුවාවක් දැන ගැනීම සඳහාය.

“ඊයේ රෑ මේ කුඹුරු තියෙන පැත්තෙන් යටි ගිරියෙන් කවුරුහරි කෑ ගහන සද්දයකුත් ඇහුණා. ඒත් අපි එළියට ගියේ නැහැ බයට”

“වෙනදාටත් ඔය වගේ සද්ද ඇහෙනවද”

“ඔය නැති වුණු ගෑනු කෙනයි එයාගේ මහත්තයයි රංඩු වෙනව නම් ඉඳලා හිටලා ඇහෙනවා සර්”

“ආ එහෙමද… කොයි හරියෙන්ද ඔය කෑ ගහන සද්දෙ ඇහුණේ….”

නිලධාරීහු එලෙස කී දෙතුන් දෙනාගෙන් ඒ පිළිබඳව විමසූහ. පසුව අහළ පහළ අයද සමඟ ඒ අවට පිරික්සන්නට වූහ.

ධනුකාගේ නිවෙස පිහිටි ස්ථානයට මීටර් සීයක් පමණ ඈතින් සරුසාර වෙල්යායක් පිහිටියේය. නිලධාරීන් සහ අවට පිරිස් එම වෙල්යායද පිරික්සන්නට වූහ. “සර් මේ හරියේ මඩ අවුස්සලා වගේ…..”

“ඔව් ගොයම් පැළත් කැඩිලා…”

මේ… කාවහරි ඇදගෙන ගිය මඩ පාරක් තියෙනවා”

“කෝකටත් අපි මේ හරියේ බලමු….”

නිලධාරීන් සහ පදිංචිකරුවන් ඇවිස්සී තිබූ මඩ ගොහොරුව අවට පිරික්සන්නට වූහ. ගත වූයේ මොහොතකි. ධනුකාගේ අප්‍රාණික මළ සිරුර මඩ ගොහොරුවෙන් මතුවිය. මේ සිද්ධිය ජංගම රථයේ රාජකාරියේ නිරත නිලධාරීන් විසින් අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති සුජීව ගුණතිලක වෙත වහා දන්වනු ලැබීය. ඔහු සිය පොලිස් කණ්ඩායමක්ද සමඟ ඒ මොහොතේම ධනුකාගේ මළසිරුර ඇති ස්ථානයට පැමිණ ඒ අසලට කිසිවකුටත් ඇතුළු විය නොහැකි වන අයුරින් කහ පැහැති ආරක්‍ෂක පටි යොදන ලෙස නිලධාරීන්ට නියෝග කළේය.

ධනුකාගේ මරණය ඝාතනයක් බව කාගේත් සැකය විය. ඒ ඇයගේ සිරුර මඩේ සඟවා තිබියදී සොයා ගැනීම නිසාය. සිද්ධිය සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු සිය උසස් නිලධාරීන්ටද දැනුවත් කළ ස්ථානාධිපතිවරයා ඉදිරි විමර්ශන සඳහා ඔවුන්ගේ උපදෙස්ද ලබාගත්තේය.

පසුව සිද්ධිය වූ ස්ථානයට මහනුවර කොට්ඨාස “සොකෝ” නිලධාරීන්ද කැඳවනු ලැබීය. ධනුකාගේ සිරුර හා ඒ අවට ප්‍රදේශය ඔවුන්ගේ තියුණු නිරීක්‍ෂණයට යොමු වූයේ ඉන් පසුවය. එහිදී “සොකෝ” නිලධාරීන්ට එක් කරුණක් ප්‍රත්‍යක්‍ෂ විය. ඒ ධනුකාගේ මළසිරුර ඔබා තිබූ මඩ ගොහොරුව මත අලුතින් සිටුවන ලද ගොයම් පැළ දෙක තුනක් ඇති බවය. නිලධාරීන් සැක කළේ ධනුකාගේ ඝාතනයා ඇගේ මළසිරුර මඩ ගොහොරුවේ ඇති බවක් කිසිවකුටත් නොපෙනෙන ලෙස සහ සැක නොසිතෙන ලෙස ගොයම් පැළ නැවත මඩ මත සිටුවා ඇති බවය.

පසුව මේ සම්බන්ධයෙන් කරුණු කාරණා අධිකරණයට වාර්තා කිරීමට පියවර ගැනීමත් සමඟ සිද්ධිය වූ ස්ථානයට මහෙස්ත්‍රාත්වරයාද පැමිණියේය. ඉන් අනතුරුව ධනුකාගේ මරණය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කියක් සොයා ගැනීමටද නිලධාරීහු වෙහෙසුණහ. ඒත් එය අසාර්ථක වූ තැන අවට සිටි පුද්ගලයන් 20 දෙනකුගේ පමණ සාක්කි සටහන් කර ගැනීමට නිලධාරීහු යුහුසුලු වූහ.

“සර් මේ ගෙදර ඉන්නේ මේ දෙන්නා විතරයි. මේ දෙන්නා නිතරම රණ්ඩු වෙනවා අපිට ඇහෙනවා…. ධනුකාගේ මහත්තයා බීලා ඇවිත් කෑ ගහනවා. ඊයේ රෑ 10ට විතර ගෑනු කෙනෙක් යටිගිරියෙන් කෑ ගහනවා අපිට ඇහුණා. ඒත් මේ දෙන්නා රණ්ඩු වෙන නිසා අපි ඒක එච්චර ගණන් ගත්තේ නැහැ.”

දෙතුන් දෙනකුගේම සාක්කිවලින් කියැවුණේ එවැන්නක්ය. ඒ අනුව පොලිසියේ සැකය සැමියා වෙතද එල්ල විය. නිලධාරීහු ඔහු සමඟ වෙළෙඳසලටද ඔවුන්ගේ නිවෙසටද ගියහ.

කෙසේ වෙතත් ධනුකාගේ ජංගම දුරකථනයද ඒ වනවිට අතුරුදන්ව තිබිණි. එය සොයා ගැනීමට නිලධාරීන් ගත් උත්සාහයද අසාර්ථක විය. ඒ අනුව විමර්ශන තවත් පුළුල් කෙරුණු අතර ධනුකාගේ සැමියාගෙන්ද පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. එමෙන්ම ඔහු අවමඟුල් ගෙදරට ගිය වෙලාව එහි රැඳුණු කාලය, එහිදී ඔහු කතාබස් කළ අය, නැවත නිවෙසට පැමිණි වේලාව ආදිය නිරීක්‍ෂණය කිරීමේදී ධනුකාගේ ඝාතනයට සැමියාගේ සම්බන්ධයක් නැති බව ස්ථානාධිපතිවරයා ඇතුළු විමර්ශන කණ්ඩායමට ටිකෙන් ටික වැටහෙන්නට විය.

ඒ නිසා ධනුකාගේ ඝාතනයට පිටස්තරයකු සම්බන්ධව බවට සැකයක්ද නිලධාරීන්ට ඇතිව තිබුණේය. එහෙත් ඒ ගැන ස්ථිර තොරතුරක් නොවූ හෙයින් උසස් පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කළ ස්ථානාධිපතිවරයා මහනුවර නිල කොට්ඨාසයේ නිල සුනඛයකුගේ සහාය මීට ලබාගත යුතු බවට තීරණය කළේය. ඒ අනුව මහනුවර නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කාංචන ගොඩකුඹුර මහතාගේ නියෝග මත පොලිස් අධිකාරි අනුර දෙල්ගහපිටිය සහ එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන කොලුගල යන මහත්වරුන්ගේ උපදෙසින් නිල සුනඛ ‘ඒගල්’ අලවතුගොඩ අබිරහස් ඝාතනය සඳහා යොමු කිරීමට තීරණය කෙරිණි.

“ඒගල්” අපරාධ විසඳීමේලා දක්‍ෂ නිල සුනඛයෙකි. මීට පෙරද මෙවන් අබිරහස් මිනිස් ඝාතන කිහිපයක්ම “ඒගල්” ගේ හැකියාවෙන් විසඳාගැනීමට නිලධාරීන්ට හැකිව තිබිණි. නෙදර්ලන්තයේ සිට මෙරටට ගෙනෙන ලද “ඒගල්ට” මේ වනවිට වයස අවුරුදු හයකි. කොස්තාපල් ජයරත්න (42320) ඒගල්ගේ ස්වාමියාය. ඒගල් ඔහුගේ අණට කීකරුය. ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත ජයරත්න “ඒගල්ව” ද රැගෙන අලවතුගොඩට ගියේය. ස්ථානාධිපතිවරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගනිමින් “ඒගල්ගේ” ඉවට දීමට යමක් සෙවීය.

“ඉවට දෙන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒත් ඒ කාන්තාවගේ මිනිය හම්බවුණු මඩ ගොහොරුවේ තැන තැන අලුතින් හිටවපු ගොයම් ගස් දෙක තුනක් නම් තිබුණා. ඒවා කාන්තාව මඩේ ඔබලා ඒ බව නොපෙනෙන්න නැවත හිටවපු ගොයම් ගස්. අපි හිතුවා අපරාධකාරයා ඒ ගස් මඩේ හිටවන කොට එයාගේ අතේ සුවඳ ඒ ගොයම් ගස්වල ගෑවිලා ඇති කියලා… එහෙම හිතලා ගොයම් ගස් දෙකක් මම “ඒගල්” ගේ නහයට තිබ්බා.”

“තප්පර ගාණක් ඒ ගොයම් ගස් ඉව කරපු “ඒගල්” පණ කඩාගෙන කුඹුර දිගේ දුවන්න වුණා. කුඹුරු, තේ වතු අස්සෙන් පල්ලම්වලින් “ඒගල්” දිව්වා. කිලෝමීටර් හතරක් විතර දිව්වා. දුවලා ළිඳක් ගාව නතර වෙලා ඉව කළා. ආයෙත් දුවන්න ගත්තා. එහෙම දුවලා ගෙයක් ළඟට ගියා. එතැන පුද්ගලයෙක් හිටියා. මිනිහව හොඳට ඉව කරලා එක පාරටම ඒ ගේ වටේ කැරකිලා ඇතුළේ කාමරයට ගිහින් කාමරේ තිබුණු ඇඳත් ඉව කරලා එතැනම වාඩි වුණා” නිලධාරියකු කීවේය. ඒ අනුව නිවෙසේ සිටි පුද්ගලයා වෙත පොලිස් කණ්ඩායම ළඟා විය. ඒ සැණින් ඔහු කිසියම් අයුරකින් තැතිගත් බවක් නිලධාරීහු දුටුහ.

ස්ථානාධිපතිවරයා ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය. ඔහු යුද හමුදා සෙබළෙක් විය. පොලිසිය ඔහු අලවතුගොඩ පොලිසියට රැගෙන ගියේය. එහිදී ධනුකාගේ සැමියා හමුදා සෙබළා ගැන තවත් වැදගත් තොරතුරු රැසක් පොලිස් නිලධාරීන් ඉදිරියේ තැබීය.

38 හැවිරිදි සැකකරුගේ නිවෙස පිහිටියේ ධනුකා සහ සැමියා පදිංචි නිවෙසට කිලෝ මීටරයක් පමණ දුරින් වුවද ඒගල් හමුදා සෙබළාගේ නිවෙසට දිව ආවේ අති දුෂ්කර ගමනක යෙදෙමින් කිලෝ මීටර් හතරක් පමණ දුරක් පසු කරගෙනය.

“සර්… මෙයා මීට කලිනුත් මගේ නෝනාට එක එක එස්.එම්.එස්. එවලා තිබුණා.” සැමියාගේ එම ප්‍රකාශය මත තවදුරටත් විමර්ශන සිදුකළ නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ මීට මාස දෙකකට පෙර සැකකාර හමුදා සෙබළා ධනුකාට “හායි” යනුවෙන් කෙටි පණිවුඩ එවමින් “ඔයා ගොඩාක් ලස්සනයි… මම ඔයාට ආසයි. අපි හමුවෙමුද” යනුවෙන් නොයෙකුත් යෝජනා වරින් වර එවා ඇති බවය.

“දවසක් මම ඔය මනුස්සයගෙන් ඔය ගැන අහන්න යද්දි ධනුකා කිව්වා ඕන නැහැ ප්‍රශ්න ඇති කර ගන්න. ආයෙත් එයා ඒ වගේ ඒවා එවන්නේ නැහැ කියලා ධනුකාගෙන් සමාව ගත්තා කියලා. එයා එහෙම කිව්වෙත් මම මිනිහත් එක්ක රණ්ඩුවක පටලැවෙයි කියලා හිතලයි සර්.”

ධනුකාගේ සැමියාගෙන් එවන් තොරතුරු ලැබීමත් සමඟ ධනුකාගේ ඝාතනයේ සැකය තවදුරටත් හමුදා සෙබළා වෙතම යොමු විය. එහෙත් ඔහු ඒ බව පිළිගත්තේ නැත. තමා එවන් අපරාධයක නියැළුණේ නැති බව සැකකාර සෙබළා කීවේය. එහෙත් පොලිසිය ධනුකාගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට ඔහු අත්අඩංගුවට ගත්තේය. ඒ ධනුකා මරා දමා පැය 12ක් යන්නටද මත්තෙනි.

සැකකාර සෙබළාගේ නිවෙසේ තිබූ මඩ තැවැරුණු ඇඳුම් පොලිසියෙන් සොයා ගැනීමද මීට තවත් හේතුවක් විය.

මේ අතර ධනුකාගේ මරණය සිදුවූ ආකාරය දැනගැනීම සඳහා ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය මහනුවර මූලික රෝහලේදී පැවැත්විණි. එහිදී අනාවරණය වූයේ ධනුකා මරා දමා ඇත්තේ දූෂණය කිරීමෙන් පසුව බවය. ඉන් අනතුරුව ඇගේ ගෙල සිර කර ඇති බවද මරණ පරීක්‍ෂණයේදී හෙළි විය.

මෙම තීන්දුවත් සමඟ පොලිසියේ අවධානය යොමු වූයේ ධනුකාගේ නියපොතු, කෙස් රුධිරය සහ ඇගේ සිරුරෙන් සොයාගත් ශුක්‍රාණු සාම්පල ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක් සඳහා යොමු කළ යුතු බවටය.

“අපි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු කියන්නේ ඔහු ධනුකාගේ ඝාතනය සිදු කළේ නැහැ කියලයි. ඒත් අපිට සැකකරුගේ රුධිර සාම්පල ඇතුළු සෙසු සාම්පල අරගෙන ඒවා මියගිය කාන්තාවගේ රුධිර සාම්පල හා ශුක්‍රාණු සාම්පලත් එක්ක සංසන්දනය කිරීම සඳහා ඩී. එන්. ඒ. පරීක්‍ෂණයට යොමු කරන්න අදහස් කරනවා. ඒ වාර්තාවෙන් ලැබෙන තීරණයට අනුව ඉදිරි විමර්ශන කරන්න අපිට පුළුවන්…” යැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති සුජීව ගුණතිලක මහතා අවධාරණය කළෛ්ය.

මේ වනවිට ලැබී ඇති තොරතුරු මත පොලිසියේ සැකය වන්නේ 10 වැනිදා රාත්‍රියේ වෙළෙඳසල වසා දැමූ ධනුකා නිවෙසට පැමිණීමෙන් පසු ඇය මෙම සිදුවීමට මුහුණ දී ඇති බවකි.

නිවෙසේදී ඇය කිරීමෙන් පසු ඇගේ ගෙල සිර කර මරා දමා ඇගේ සිරුර නිවෙස ආසන්නයේ ඇති වෙල්යායට ගෙන ගොස් එය මඩේ ඔබා ඇති බව මේ වනවිට කර ඇති මූලික පරීක්‍ෂණයේදී පෙනී යන බව පොලිසිය පවසයි.

එහෙත් මෙතෙක් ධනුකා මරා දැමූ ආකාරය ඇසින් දුටු කිසිවකු පොලිසියට හමුවී නැත. ඇය මැරූ බවට සැකපිට අත්අඩංගුවට ගත් හමුදා සෙබළාද ඒ බව පිළිගන්නේ නැත. පොලිසිය ඇගේ මරණය ගැන සැමියාගෙන්ද ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගෙන ඇතත් ඔහුද ඊට සම්බන්ධයක් නැති බව මේ වනවිට පෙනෙන්නට ඇත. එසේ නම් ධනුකා මධුවන්තිගේ මරණය මේ වනතුරුත් අබිරහසකි. එම අබිරහස ඩී. එන්. ඒ. පරීක්‍ෂණයකින් පසුව හෝ විසඳෙතැයි ධනුකාගේ ඥාතීන්ගේ හා පොලිසියේද බලාපොරොත්තුවයි.

මධ්‍යම පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මහනුවර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිශාන්ත රත්නායක, සහකාර පොලිස් අධිකාරි ගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුජීව ගුණතිලක ප්‍රමුඛ පොලිස් පරීක්‍ෂක පුස්සෙගොඩ, උප පරීක්‍ෂකවරුන් වන කරුණාවංශ, ගුණතිලක, බන්දුල ඇතුළු කණ්ඩායමක්ද මෙම විමර්ශනයට එක්ව සිටියහ. පොලිස් පරීක්‍ෂණ ඇසුරෙනි.

කීර්ති මෙන්ඩිස්
මව්බිම

මෙන්න බලන්න තවත් පුවත්