“මිනිස්සුන්ට අයිතියක් නෑ එහෙම කාගෙවත් ශරීරයේ හැඩය හෝ පැහැය ගැන හෙළා දැකල කතා කරන්න.මිනිසුන්ගේ ශරීර වර්ණය,හැඩය ගැන වද වෙනවට වඩා ඒ මිනිස්සු තුළ ඇති සැබෑ සුන්දරත්වය දකින එක තමයි වටින්නේ…”

පුංචි තිරයේ, වේදිකාවේ මෙන්ම සිනමා නිර්මාණයන්හි වඩාත් ආකර්ෂණීය චරිතාංග නිරූපණයන්හි යෙදෙන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් වන ඔහු විටෙක සුදු චරිත මෙන්ම කළු, අළු චරිතද මැනවින් නිරූපණය කරයි.එම චරිතවල ජීවත්වෙමින් සිදුකරන රංගනය සැබැවින්ම විශිෂ්ටයි.ඔහු සාරංග දිසාසේකර.මේ ඔහු සති අන්ත පුවත්පතක් හා යෙදුණු සොඳුරු සංවාදයක්.

ඉතින් කොහොමද ජීවිතේ?

හොඳින් ඉන්නවා.

මේ දිනවල නිරතවන කලා කටයුතු ගැන කතා කළොත්?

මේ දිනවල තේජා ඉද්දමල්ගොඩ මහත්මයාගේ ආශාවරී චිත්‍රපටයේ රූගතකිරීම්වල නිරතවෙනවා. ඊට අමතරව අලුත් අධ්‍යක්ෂවරයකුගේ වැඩකටත් සම්බන්ධව සිටිනවා. තාම කොටස් 10ක් 15ක් වගේ තමයි කරල තිබෙන්නේ. ඒ නාට්‍ය ප්‍රචාරය කරන චැනල් එක පවා තවම නියම කරල නැහැ. ඉතින් ඒ වැඩකටයුතු තමයි දැනට කරගෙන යන්නේ.

රෝස තොල් ගීතයට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ ගීත නිර්මාණය ගැන කතා කළොත්?

කාලයකට පස්සේ තමයි මගේ තනි ගීතයක් නිර්මාණය වුණේ. රෝස තොල් ගීතය සංගීතවත් කළේ අෂාන් ෆර්නැන්ඩු, පද රචනය කළේ දුමින්ද අලහේන්ද්‍ර, රූප රචනාව ලස්සනට නිර්මාණය කළේ සංදේශ් බණ්ඩාර. ඉතින් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.

මෑතක තිරගත වුණ “යාළුවෝද? යාළුයිද?” සිනමා නිර්මාණය ගැනත් කියමු?

ඔව්. ඒ සිනමා නිර්මාණයේ විශේෂ දර්ශන වාර කිහිපයක් පැවැත්වුණා. මාර්තු 10 වැනිදා එහි ඔෆීශියල් රිලීස් එක තිබෙනවා. මාර්තු 5 වැනිදා නුවර තවත් විශේෂ දර්ශන කිහිපයක් පැවැත්වෙනවා. මේ චිත්‍රපටය යන්ග් ජෙනරේශන් එකට ගැළපෙන තේමාවක් සහිත වෙනස් විධියේ නිර්මාණයක්. මෙය ෆැෂන් ඩිසයිනින්ග් ඉන්ඩස්ටි්‍ර එක බේස් කරගෙන තමයි නිර්මාණය කර තිබෙන්නේ. මෙය අධ්‍යක්ෂණය කරන්නේ නවක අධ්‍යක්ෂවරයකු වූ දිල්ශර ජයමාන්න.

මේ නිර්මාණයේ ඔබේ චරිතය ගැන කතා කළොත්?

මම එහි කළු සහ අළු චරිතයක්. මගේ පෙනුමෙන් සහ චරිතයෙන් වෙනසක් කරන්න අවස්ථාවක් ලැබුණා. දැනට පැවැත්වුණු දර්ශන වාර අනුව හොඳ ප්‍රතිචාර ලැබුණා. අපි බලමු ඉදිරියේදී.

කොහොමද මේ දිනවල ඔබේ ව්‍යාපාර කටයුතු?

රටේ පවතින තත්ත්වය නිසා ව්‍යාපාර කටයුතුවල නම් පොඩි පසුබෑමක් තිබෙනවා. නමුත් රට නැවත යහපත් තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව පෙනෙනවා. ඉතින් අපි හැකි අයුරින් පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමට පහසු පරිදි සාධාරණ සහනදායී මිලකට ලබාදෙන්න උත්සාහ කරනවා. මං ගොඩක් මේ අවස්ථාවේ සතුටු වෙනවා මං යටතේ කිහිපදෙනෙක් සේවය කරන නිසා ඔවුන්ටත් මේ අසීරු අවස්ථාවේ රැකියා සොයාදීමට හැකියාවක් ලැබීම ගැන.

ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය ව්‍යාපාර සඳහා බලපාන ආකාරය ව්‍යවසායකයෙක් ලෙස ඔබ දකින්නේ කොහොමද?

ව්‍යවසායකයෙක් විධියට මමත් නිතරම හිතන දෙයක් තමයි ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය මත විවිධ දේශීය දේවල් අපනයනය කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීම කළ යුතු බව. ලංකාවේ පවතින දේශීය දේවල් ලෝකයටම බෙදාහැරලා ලාංකිකයන් විධියට අපේ අනන්‍යතාවක් ගොඩනඟාගන්න පුළුවන් නම් මේ මොහොතේ ඒ දෙය ගොඩක් වටිනවා. නමුත් මගේ ව්‍යාපාරයත් ආනයනය මූලික කරගත් ව්‍යාපාරයක්. එයින් රැකියා අවස්ථා උත්පාදනය කරන්නට ලැබුණත් බාහිරින් ගෙන්වන බඩුවල මිල ගණන් ඉහළයෑම නිසා තමයි පාරිභෝගිකයන්ට වැඩි මිලක් ගෙවන්නට සිදුවෙන්නේ. ඉතින් මෙවැනි තත්ත්ව නිසා ලංකාවේ ව්‍යාපාර මේ දිනවල තරමක් පසුබෑමට ලක්වෙලා තිබෙනවා.

වර්තමානයේ කලාකරුවන් රැසක් රට හැර යනවා. ඔබටත් එවැනි අදහසක් තිබෙනවද?

ඇත්තටම සංචාර වගේ දේවල් සඳහා රට යන්න අපට සිදුවෙනවා. එහෙම සංචාරවලට රට යන එකයි ජීවත්වීම සඳහා රට යන එකයි අතර ලොකු වෙනසක් තිබෙනවා. මගේ නම් එච්චරම කැමැත්තක් නැහැ රටින් පිටවෙලා ඉන්න. රට හැරයන්න නම් ඇත්තටම ආසාවක් නැහැ.

අද සමාජයේ බොහෝදෙනා පුද්ගලයන්ගේ ශරීර පැහැය, උස මහත ගැන වද වෙනවා. විවිධ අපහාස එල්ල කරනවා. ඔබ මොකක්ද මේ ගැන දරන අදහස?

ඇත්තටම මිනිස්සුන්ට අයිතියක් නෑ එහෙම කාගෙවත් ශරීරයේ හැඩය හෝ පැහැය ගැන හෙළා දැකල කතා කරන්න. මිනිසුන්ගේ ශරීර වර්ණය, හැඩය ගැන වද වෙනවට වඩා ඒ මිනිස්සු තුළ ඇති සැබෑ සුන්දරත්වය දකින එක තමයි වටින්නේ.

දිනක්ෂිගේ ඇඳුම් පැලඳුම් ගැනත් ඇතැම් අය විවිධ විවේචන එල්ලකරනවනේ. ඔබ මොකක්ද ඒ ගැන දරන අදහස?

එක එක් කෙනාගේ රුචි අරුචිකම් අනුව තමයි ඔය දේ සිද්ධවෙන්නේ. එක එක අය ලෝකේ දැකල තියෙන තරම අනුව ඔවුන් හිතන පතන විධි වෙනස් වෙනවා. ඔය විවේචන, අපහාස එල්ල කරන ගොඩක් දෙනෙක් ලෝකයේ සිදුවන අලුත් දේවල් ගැන කිසිම දැනීමක් නැති අය. කෙටියෙන්ම කියනවා නම් ළිං මැඬියො වගේ ඉන්න උදවිය තමයි තව කෙනෙක්ගේ ඇඳුම් දිහා, හැසිරීම් දිහා වපරැසින් බලන්නේ. ඒකෙන් ඔප්පුවෙන්නේ එයාලගේ සමාජ තත්ත්වය සහ නොදැනුවත්කම සහ මෝඩකම තමයි. ඉතින් අපි ඒවට කලබල විය යුතු නැහැ. කෙනෙක් තමන්ට ගැළපෙන විලාසිතා කළාට ප්‍රශ්නයක් නැහැ. කාටවත් හානියක් නැත්නම්, සමාජ විරෝධී නැත්නම් තව කෙනෙක්ගේ නිදහසට හානියක් නොවෙනවනම් තමන්ට සුදුසු විලාසිතා නිදහසේ කරන්න අයිතියක් තිබෙනවා.

දැන් ඔබ ආදරණීය දියණියකගේ පියෙක්. කොහොමද තාත්තා කෙනෙක් විධියට ඒ හැඟීම දැනෙන්නේ?

ඇත්තටම ඒ දැනෙන හැඟීම වචනවලින් විස්තර කරන්න අමාරුයි. ඒ තරම් සුන්දරයි. ආදරණීයයි. එයා මට ගොඩක් කිට්ටුයි. ඉතින් එයාගේ ඒ ආදරේ නිසා දැන් වැඩවලට යන්නත් කම්මැළි වගේ. ගෙදර ඉන්නමයි හිතෙන්නේ. තව ලොකු වෙනකොට එහෙම වැඩවලට යද්දි දාලා යන්නත් අමාරුයි. එයා මාවම තමයි හොයන්නේ. ගෙදර හිටියත් මගේ ඇඟේම එල්ලිල ඉන්න තමයි කැමැති. හරි හුරතල් ඇක්ටිව් හොඳ ආදරණීය දරුවෙක්.

දිනක්ෂි සමඟ ගෙවෙන සුන්දර ජීවිතය ගැනත් කියමු නේද?

ඔව්. දිනක්ෂි ඇත්තටම මට උපරිම සහයෝගය ලබාදීලා මගේ ජීවිතය පහසු කරනවා. හිත නිදහසේ මගේ වැඩ කටයුතු කලා නිර්මාණ කරගෙන යන්න සහ දරුවගේ ආරක්ෂාව සහ ඒ හැමදේම සලසන්න කටයුතු කරනවා. මමත් මට පුළුවන් උපරිමයෙන් එයාලගේ ඕනෑ එපාකම් බලල ඒවා ඉටු කරනවා. එයාලත් එක්ක පුළුවන් හැමවෙලාවකම ආදරෙන් ඉන්නවා. අපි එකිනෙකා ගැන හොඳ අවබෝධයකින්, සතුටින් සැහැල්ලුවෙන් සුන්දරව ජීවිතේ ගෙවනවා.

ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද?

ඉදිරියේදී මම අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණයක වැඩ කටයුතු නිමා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පළමුවැනි වතාවට තමයි මාධ්‍යයට කියන්නෙත් ඒ සම්බන්ධව. ඊට අමතරව දීර්ඝකාලීන අනාගත සැලසුම් මට නැහැ. කෙටිකාලීන සැලසුම් විතරයි තිබෙන්නේ. ඒ ටික කරගෙන සතුටින් පවුලේ අයත් එක්ක කාලය ගත කරන එක තමයි ඉතින් බලාපොරොත්තු.

චතුරිකා රාජපක්ෂ
මව්බිම – හදගැස්ම

මෙන්න බලන්න තවත් පුවත්