කෙසේ වුවද මේ අතිශය දුෂ්කර අවස්ථාවේදී මේ අර්බුදය ඇති කළේ කවුරුද? ඒ කෙසේද? යන්න සොයනවාට වඩා ජීවිතය බේරා ගැනීම සිය ඒකායන අරමුණ යැයි යළි යළිත් සිහිපත් කර දෙන්නට මහනුවර තෙල්දෙණිය මූලික රෝහලේ “සුව විරුවෝ” පිරිසක් කටයුතු කළහ.

එය සැබැවින්ම අභියෝගයක් වූයේ ඇතැම් විට ශික්‍ෂණ රෝහලක හෝ මහ රෝහලක තරම් පහසුකම් මෙම රෝහල තුළ නොතිබීම නිසා විය හැකියි.

නමුත් එම අභියෝගය හමුවේ සාර්ථකව මුහුණ දුන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමරත්න මහතාද ඇතුළු තෙල්දෙණිය මූලික රෝහලේ ‘සුව විරු’ කණ්ඩායමට වයෝවෘද්ධ කාන්තාවක් (අවු:67) පිළිකා මාරයාගෙන් බේරා ගැනීමට හැකි විය.

අපේ වෛද්‍යවරුන්ගේ මේ අතිශය සුවිශේෂී ශල්‍යකර්මය පිළිබඳව රටට කියන්නට “මව්බිම” අපි මහනුවර තෙල්දෙණිය මූලික රෝහලට පිවිසුණෙමු.

කතාව ඇරැඹුණේ මෙලෙසිනි.

“අපි වෙත මේ රෝගියා ආවේ ගිලීමේ අපහසුවක් තියෙනවා කියලා. ඇය අවුරුදු 67ක පමණ වයස අම්මා කෙනෙක්. අපි මේ පිළිබඳව අදාළ වෛද්‍ය අංශ වෙත සාම්පල් යොමු කිරීමේදී තමයි තහවුරු වුණේ මේ හැදිලා තියෙන්නේ පිළිකාවක් කියලා. එය හැදිලා තිබුණේ අන්නසේ‍රා්තයේ.”

“සාමාන්‍යයෙන් පිළිකාවක් එකවර හඳුනාගත නොහැකිය. ඒ සඳහා පරීක්‍ෂණ ගණනාවක් කළ යුතුව ඇත. ඒ අනුව ඊට සම්බන්ධව සිටින විශේෂඥ වෛද්‍යවරයා එය පිළිකාවක්ද නැද්ද යන්න තීරණය කරනු ලබයි.”

මේ සියලු පරීක්‍ෂණ අවසානයේ ඇයට පිළිකාවක් වැලඳී ඇති බව ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය තුෂාරි ජයමහ මහත්මිය සිය වාර්තා මඟින් තහවුරු කළාය.

ඉන් අනතුරුව මේ සඳහා කළ යුත්තේ කුමක්දැයි යන්න තීන්දු කිරීමේ බැරෑරුම් කාර්ය පැවැරුණේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමරත්න මහතාටය.

“ඇත්තටම මේක අතිශය සංකීර්ණ ඔපරේෂන් එකක්. අපි මහනුවර මහ රෝහලේ පිළිකා රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය සේනක කන්දෙගෙදර මහතාගෙන් මූලික උපදෙස් ලබා ගත්තා. එතුමාගේ අදහස වුණේ ඖෂධ හා විකිරණ ප්‍රතිකාර මඟින් මේ රෝගය පාලනය කිරීමයි.”

“කෙසේ වුවත් වර්තමානය වන විට පවතින බරපතළ ඖෂධ හා උපකරණ හිඟය දිවයිනේ සෑම රෝහලකම පාහේ ප්‍රතිකාර හා ශල්‍යකර්ම අඩාල කර දමා ඇත.

“අප රෝහල සතුව එවැනි පහසුකම් හෝ ඖෂධ මේ වනවිට තිබුණේ නැහැ. ඒ හේතුවෙන් විකල්ප වැඩපිළිවෙළක් කඩිනමින් සෙවිය යුතු වුණා. ඒ අනුව තමයි අප රෝහලේ නිර්වින්දන වෛද්‍ය රොෂාන් මල්ලිමආරච්චි මහතා සමඟ සාකච්ඡා කරලා තීරණය කළේ ඔපරේෂන් එකකට යමු කියලා.”

“මූලික රෝහලේ වුවද සැත්කම් සඳහා අවශ්‍ය උපකරණ නැහැ. රෝගීන්ගේ ශරීරය තුළට ඇතුළු කරන කුමන උපකරණයක වුවද මිල ඉතා අධිකයි. මෙවැනි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය වන ලැප්ටොස් කොපි (Laptospcopy) වැනි යන්ත්‍රවල වෙළෙඳ වටිනාකම සාමාන්‍යයෙන් මිලියන 40-60ක් පමණ වෙනවා.”

නිදහස් සෞඛ්‍ය සේවාවක් රටේ පැවැතියද මෙවැනි මිල ගණන් දරා ගත නොහැකිය. ඒ හේතුවෙන් විශේෂිත වූ ශල්‍ය උපකරණ දිවයිනේ ප්‍රධාන රෝහල් කිහිපයකට පමණක් සීමා වී තිබේ.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමරත්න මහතා මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වූයේ අවශ්‍ය උපකරණ සහ මෙවලම් තෙල්දෙණිය රෝහලේ නොමැති වීමය.

මෙවැනි ශල්‍යකර්ම සඳහා භාවිත වන්නේ ලැප්ටොස්කොපි (Laptospcopy) නම් උපකරණයයි. මෙම උපකරණය මඟින් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් පහසුවෙන් නිරීක්‍ෂණය කිරීමට මෙන්ම ප්‍රතිකාර කටයුතු කිරීමටද උපකාරි වෙනවා.

සාමාන්‍යයෙන් මෙවැනි ශල්‍යකර්ම සඳහා භාවිත කළ යුත්තේ ලැප්ටොස්කොපි (Laptospcopy) නම් උපකරණයයි. නමුත් මෙම රෝහලේ මෙම උපකරණය නැහැ. ඒ නිසා තමයි අපි තීරණය කළේ එන්ඩොස්කොපි (Endoscopy) නම් උපකරණය යොදා ගෙන මෙම ශල්‍යකර්මය සිදු කරන්න.

වෛද්‍ය කෝසල සෝමරත්න මහතා අප සමඟින් පැවැසුවේ, මේ උපකරණය යොදා ගනිමින් කළ මේ ආකාරයේ ප්‍රථම ශල්‍යකර්මය මෙය විය හැකි බවයි.

සාමාන්‍යයෙන් එන්ඩොස්කොපි (Endoscopy) භාවිත කරන්නේ ශරීර අභ්‍යන්තරයට යවා රෝගීන්ගේ රෝග නිරීක්‍ෂණය කිරීමටයි. නමුත් ලැපටොස්කොපි (Laptospcopy) නම් උපකරණය තමයි මේ ශල්‍ය කර්ම සඳහා භාවිත කරන්නේ.

තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය කෝසල සෝමරත්න මහතා කියා සිටියේ මේ ශල්‍යකර්මය සඳහා භාවිත කළ උපකරණය මේ ශල්‍යකර්මය සඳහාම නිපදවූවක් නොවන බැවින්, ඒ උපකරණ භාවිතයෙන් ශල්‍යකර්මය සිදුකිරීම තරමක් සංකීර්ණ ක්‍රියාවක් වූ බවයි.

ඒ අනුව සැබැවින්ම මේ ශල්‍යකර්මය ඉතාමත් දුෂ්කර හා සංකීර්ණ කාර්යයක් වූයේ අවශ්‍ය ශල්‍ය උපකරණ නැතිවීමයි. නමුත් වෛද්‍යවරයාගේ දැනුම හා පරිණතභාවය සහ නිර්මාණශීලත්වය නිසා එන්ඩොස්කොපි උපකරණය ලැපටොස්කොපි උපකරණය බවට පත්කර ගැනීමට සමත් විය.

ශල්‍යකර්ම සඳහා භාවිත කෙරෙන ලැපටොස්කොපි උපකරණයේ වෙළෙඳපොළ වටිනාකම මිලියන 60ක් පමණ වේ. එසේම ශරීරයට ඇතුළු කිරීම සඳහා මේ සමඟ Ports නම් උපකරණ කිහිපයක්ද භාවිත වේ.

මේවාද අද වෙළෙඳපොළ වටිනාකම හැටදහසක් පමණ වේ.

“ලැපටොස්කොපි උපකරණය ශරීරයට ඇතුළු කිරීමට Ports නම් උපකරණ කිහිපයක්ද භාවිත වෙනවා. සිරින්ජර් කිහිපයක් කපලා අවශ්‍ය ප්‍රමාණයට එම උපකරණය හැදුවා. පසුව රෝගියාගේ පපුවේ සිදුරු කිහිපයක් සකසා ඒ තුළින් එම උපකරණය ශරීර ගත කළා. මීට වඩා විශාල සිරින්ජයක් මඟින් සාදා ගත් උපකරණයක් මඟින් එන්ඩොස්කොපි උපකරණය ඇතුළු කළා.”

ඉන් පසුව රෝගියාගේ ශරීරයේ අභ්‍යන්තර දර්ශන අනුව ශල්‍යකර්මය පහසු වූ බව පැවැසූ වෛද්‍යවරයා කියා සිටියේ, තවදුරටත් පැහැදිලි දර්ශන සහිතව ශල්‍යකර්මය පහසුකර ගැනීම සඳහා රෝගියාගේ එක් පෙණහැල්ලක් හකුළුවාලන්නට පියවර ගත් බවයි.

“මේ ක්‍රියාවලිය සිදු කරන්නේ නිර්වින්දන වෛද්‍යවරයකු විසින්. රෝගියාගේ ශරීරය ඇතුළත පැහැදිලිව පේනවා. පස්සේ අපි උපකරණ පාවිච්චි කරලා අවශ්‍ය විච්ඡේදන කළා.

“මේ සඳහා අවශ්‍ය උපකරණ සමාගමෙන් නොමිලේ ලබා දුන්නා. එය අපිට විශාල ශක්තියක් වුණා.

රෝගියාගේ පිළිකාව ඇති ස්ථානය පැහැදිලිව හඳුනා ගත්ත නිසා අපිට ඇයගේ පෙණහැල්ල හකුළුවන්න සිදුවුණා. මේක අපි Singal Anasthisiya කියලා හඳුන්වනවා.

රෝගියාගේ ශරීරයට එන්ඩොස්කොපි (Endoscopy) ඇතුළු කිරීම ඉතා සංකීර්ණ ක්‍රියාවක් බව පැවැසූ වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේ, මේ සඳහා Port නම් උපකරණ අවශ්‍ය වන බවයි.

අප සතුව එවැනි උපකරණ තිබුණේ නැහැ. අපි කළේ සිරින්ජර්වලින් හදපු Port ඇතුළු කිරීමයි. ඒ සඳහා රෝගියාගේ පපු කුහරයේ සිදුරු කිහිපයක් සකස් කළා.

ඒ අනුව ලැබෙන දර්ශන උපයෝගි කරගෙන පිළිකාව සහිත ප්‍රදේශය හඳුනාගෙන අදාළ විච්ඡේදන සිදුකළ බව පැවැසූ ඒ මහතා තවදුරටත් කියා සිටියේ, ශල්‍යකර්මයට අවශ්‍ය උපකරණ නිෂ්පාදන සමාගම මඟින් ලබාදීම විශාල ශක්තියක් වූ බවයි.

පසුව පිළිකාව සහිත ගල නාලය විච්ඡේදනය කර එය නිදහස් කරගෙන උදරය විවෘත කිරීම කළා. පසුව පෙර සකසා ගත් ආමාශ තලයක් බෙල්ලෙන් කැපුමක් යොදලා පිළිකාව ඉවත් කළ අන්නශේ‍රා්තයෙ අපි සකස් කරගත් ආමාශ තලයෙ සමඟ නැවත මුල් කොටසට සවි කළා. මේ පපු කුහරය තුළින් තමයි අදාළ ස්ථානයට එය ගෙන යනු ලබන්නේ.

ශල්‍යකර්මයට භාජන වූ 67ත් හැවිරිදි මාතාවගෙන්ද ‘මව්බිම’ අපි අදහස් විමසුවෙමු.

“දොස්තර මහත්තුරු මට කීවා, පැය 12ක පමණ ඔපරේෂන් එකක් කළා කියලා. දොස්තර මහත්තුරු වගේම ඉස්පිරිතාලේ සියලු දෙනා මට ගොඩක් උදවු කළා. මේ දොස්තර මහත්තුරු තමා මිහිපිට දෙවිවරු.

මෙවැනි අවස්ථාවක තෙල්දෙණිය මූලික රෝහලේ කළ මෙම සැත්කම අතිශයින්ම විස්මයජනකය.

සාමුහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වූ මේ ශල්‍යකර්මය සියලු දෙනා ලද ජයග්‍රහණයක් යැයි වෛද්‍ය කෝසල සෝමරත්න මහතා පැවැසීය.

අපි නිර්මාණශීලි පිරිසක්. හිතුවොත් ඕනෑම දෙයක් කිරීමට අපිට හැකියාව තියෙනවා. රටට සිදුවෙලා තියෙන දේට දේශපාලනඥයන් පමණක් නොව අප සියලු දෙනාම වගකිව යුතුයි.

තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය කෝසල සෝමරත්න මහතා කියා සිටියේ, මේ මොහොතේ පුරවැසියන් සියලු දෙනාම රට වෙනුවෙන් යම් වගකීම් ප්‍රමාණයක් දැරිය යුතු බවයි.

අපි ඉගෙන ගත්තේ ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලිවලින්. ඉතින් අපිට වගකීමක් තියෙනවා අපේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න.

මේ වෙලාවේ කවුරුත් රට දාලා යන එක නොවේ කළ යුත්තේ. කොරියාව, ජපානය වැනි රටවලට මීට වැඩිය ප්‍රශ්න තිබුණා. ඒ අය රට දාලා ගියා නම් අද කොරියාව, ජපානය වැනි රටවල් නෑ.

තෙල්දෙණිය මූලික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රසාද් වැලිකල මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම සුවිශේෂී සැත්කම සිදුවිය. මේ විස්මිත සැත්කම රටට කියන්නට තෙල්දෙණිය මූලික රෝහල වෙත අප කැඳවාගෙන ගිය මාධ්‍යවේදී චන්දන උඩුවාවල මහතාට මෙහිදී කෘතවේදය පළ කළ යුතුවේ.

සමීර ජයරත්න
මව්බිම

මෙන්න බලන්න තවත් පුවත්