පවුල් ආරවුලක් මුල් කර ගෙන වයස අවුරුදු 6 සහ 9 ක් වයසැති දුව හා පුතා ඝාතනය කර පියාද සියදිවි හානිකර ගැනීමේ සිදුවීමක් පසුගිය දිනෙක අරණායකින් වාර්තා වුණා.

මෙම ඝාතනය සිදු වී තිබුණේ අරණායක පොලිස් බල ප්‍රදේශයේ පොල්අඹේගොඩ ගොඩිගමුව වෙල්යාය මැද ඇති ඉපැරණි අම්බලම ඇති ස්ථානයේ යි.

එම මාර්ගයට කිලෝමීටරයක දුරකින් දරුවන්ගේ මවගේ නිවසද පිහිටා තිබෙනවා.

33 හැවිරිදි පියා අම්බලමේ ප්‍රධාන බාල්කයේ එල්ලී සිටි අතර දරුවන් දෙදෙනා පියා එල්ලි සිටි ස්ථානයේ බිම සිටිනු දැක ගත හැකි වුණා.

පියා එල්ලී සිටි ලණුව ආසන්නයේ තවත් ලණු දෙකක් වු අතර එම ලණු කැඩි ගොස් තිබුණා.

මිය ගොස් ඇති දියණියගේ පාදය ආසන්යේ එක් ලණුවක් දැක ගැනීමට හැකිවුණා.

දරුවන්ගේ පාවහන් සහ පියාගේ පාවහන් එකම ස්ථානයේ තබා තිබු අතර දරුවන්ගේ පියා ඝාතනය වු ස්ථානයේ කොන්ක්‍රීට් ලෑල්ල මත ජංගම දුරකථනයක්ද දැක ගත හැකි වුණා.

මෙම ඝාතනය ගැන ප්‍රදේශවාසීන් විවිධ මත පළකර තිබූ අතර, ඇතැම් පිරිස් පියාට දොස් නඟා තිබුණේ, ඔහු විසින් මෙය සැළසුම් සහගතව සිදුකළ බව කියමින්.

කෙසේ වෙතත්, මේ ඝාතන සහ දිවි හානි කරගැනීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ආදරණීය මෑණියන්, විශේෂ හෙළිදරව්වක් කළා.

“පුතා බණ්ඩාරවෙල.. ඒ දුව (ලේලිය) හිටියේ අරණායක. බණ්ඩාරවෙල හිටපු ඒ දෙන්නා වතුර ප්‍රශ්නයක් නිසා ආයෙම අරණායක, දුවලා දිහා පදිංචියට ආවා. පුතා රස්සාවට කළේ ඩ්‍රැයිවින්. කාලයක් ගිහිල්ලා පුතා ගෙදර ඇවිත් යනවට දුව වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. පුතා ට ඇක්සිඩන්ට් එකක් වුණා 2021 දී. එයාගේ වාහනය පෙරළිලා හොස්පිට්ල් දැම්මා. අන්තිමට එයා නැවතිලා හිටියේ අපේ ඥාති පුතෙක්ගේ ගෙදර..”

“ඔය ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ අරණායක ගෙදර ගියාම තමයි මේ ප්‍රශ්නේ ඇතිවෙලා තියෙන්නෙ. මාස 6ක් විතර පුතා ගෙදර ගිහින් තිබුණේ නෑ. පුතාට අරණායක ගෙදරදී අහම්බෙන් පෙති වගයක් හම්බෙලා. ඒ උපත් පාලන පෙති වගයක්. පුතා මේ ගැන දුවගෙන් අහලා. දුව කියලා තියෙන්නෙ මේවා අක්කගේ කියලා. පුතා සැකේ වැඩි නිසාම අක්කගෙනුත් අහලා. අක්කා කියලා නෑ නංගිගේ කියලා. බැරිම තැන පුතා මේ ගැන අහලා තියෙන්නෙ ඩොක්ටර්ගෙන්. ඩොක්ටර් තමයි කියලා තියෙන්නෙ මේවා අරන් ගිහින් තියෙන්නෙ දුව කියලා..”

“ඕක තමයි ආරවුල ඇතිවෙන්න පළවැනි හේතුව. ඊටපස්සෙ දුව පාස්පෝර්ට් හැදුවා කියලා ආරංචියක් ආවා. එයා දවස් තුනක් අතුරුදහන් වෙලත් හිටියා. මුලතිව් වල එයාගේ ඥාතියෝ ඉන්නවා, මස්සිනා කෙනෙක් එහෙම. එහේ ඉන්න පුද්ගලයෙක් එක්ක දුව අනියම් සම්බන්ධයක් පටන් අරගෙන… ඒක තමා ප්‍රශ්න වලට මුල..”

“ඔය සිද්ධිය වෙන දවසෙත් උදේ ප්‍රශ්නයක් වෙලා. දරුවෝ දෙන්නට උයලවත් තිබුණේ නෑ කියලා. පස්සෙ පුතාම දරුවන්ට කෑම හදලා. ඕකට බහින්බස් වෙලා දුව ආයෙම ගෙදරින් ගිහින්..”

“මෙයා ගිහින් තියෙනවා දුවව එක්කන් එන්න. ඒ වෙලාවේ දුව කියලා ‘ළමයි දෙන්නත් අරන් පලයන්’ කියලා. එළවලා මෙයාව. එතැන ඉඳලා තියෙනවා ආමි එකෙන් පැනලා ආපු කෙනෙක්. එයත් පුතාට තර්ජනය කරලා. පුතා කියලා. ‘යන්න ආවේ නැත්තම් දරුවෝ දෙන්නා එක්කම මැරෙනවා’ කියලා. ඒත් ඇවිත් නැහැ. ‘ළමයි මැරුණොත් ඒක කරුමේ කියලා හිත හදාගන්නවා’ කියලා දුව කියලා. දරුවෝ දෙන්නත් අම්මට පෙරැත්ත කරලා යං අම්මේ කියලා..”

“පුතා පස්සෙ දවසම එක එක තැන්වල ඇවිදලා දරු දෙන්නත් එක්ක. හිත හදාගන්න ගොඩක් උත්සාහ කරලා. ඒ ළඟ තිබුණ පන්සලකට දේවාලයකට එහෙමත් ගිහින්. බැරිම තැන තමයි මේ අපරාධය කරගෙන තියෙන්නෙ..”

කෙසේ වෙතත්, මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් කෑගල්ල දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වන්නෙ.

එසේම, මෙම අනියම් සම්බන්ධතාවය ගැනත් අදාළ ප්‍රදේශයේ පිරිස් පොලිසියට සාක්ෂි ලබා දී තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්