මාදිවෙල පිහිටි මන්ත්‍රි නිවාස සංකීර්ණයේ රුපියල් දහසක් වන මාසික නිවාස කුලී ගාස්තුව වසර විස්සකින් පමණ සංශෝධනය කර නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

1994 වසරේ දී ඉදි කළ මෙම නිවාසයක රුපියල් පන්සියයක්ව පැවැති කුලිය ඉවත්කර වසර දහයකට පසු රුපියල් දහස දක්වා වැඩි කර තිබෙන අතර එම වසරේ සිට මේ දක්වා ද අය කෙරෙන්නේ එම කුලිය පමණක් බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම මන්ත්‍රි ධුරය අහෝසි වීමෙන් පසු ඉන් ඉවත් නොවන මන්ත්‍රිවරුන්ගෙන් අය කෙරෙන දෛනික දඩය ද රුපියල් පන්සියයක් තරම් අවම මට්ටමක පවතින බවත් එම ආරංචිමාර්ග පවසා සිටියේ.

මෙම කුලී ගාස්තු සහ දඩ මුදල් වැඩි කළ යුතු බවට පාර්ලිමේන්තුවේ ගෘහ්‍ය කාරක සභාවට වරින් වර ඉදිරිපත් කෙරෙන යෝජනා මේ දක්වා අනුමත කර නොමැති අතර මන්ත්‍රිවරුන්ගෙන් එතරම් අවම මුදලක් අය කළද නිවාස සංකීර්ණයේ නඩත්තු කටයුතු සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුව ඇතැයිද ඉහත ආරංචිමාර්ග පවසන්නේ.

පැරණි පුවත් – මට සිනමාවෙන් සාධාරණයක් ඉෂ්ට වුණේ නෑ. ඒ ගැන පොඩි පසුතැවිල්ලක් මට හැමදාම තියෙනවා.

ලාංකේය කලාව තුළ නිරන්තරයෙන්ම ඇස ගැටෙනා සුරූපී නිළියන් අතරින් නර්තනයටත් රංගනයටත් එකසේ දස්කම් පාමින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණි හිමාලි සිරිවර්ධන ඉමහත් ප්‍රේක්ෂක ආදරයක් ලැබූ ඉතාමත් ජනප්‍රිය තාරකාවක්.

මේ දිනවල විකාශය වන ස්වර්ණවාහිනියේ දෙකඩකඩ, අයි.ටී.එන්. එකේ ගගන පියවර සහ හිරු ටී.වී. එකේ ලංවී කියන ටෙලි නිර්මාණයන් තුළින් ඇයගේ රංගනයන් ඔබට දකින්නට පුළුවන්.

මේවන විට මවක් වන ඇය සිය පුතුගේ වැඩ කටයුතු වලට මුල් තැන දෙමින් සිය සැමියාගේ නොමද සහයොගය ඇතිව කලා කටයුතු වලත් නිරත වෙමින් ඉතාමත් කාර්යබහුල ලෙස කාලය ගත කරයි.

එහිදී ඇය සිය දින චර්යාව පිළිබඳ පුවත් පත් සාකච්චාවකදී මෙලෙස අදහස් දක්වා තිබුණා.

රූගත කිරීම් නැති දවසක නම් උදේට පුතාව මොන්ටිසෝරි ගෙනියන්නෙ මම. ඒ දවස්වලට මම උදේම නැඟිටිනවා. සාමාන්‍යයෙන් මගේ රූපලාවණ්‍ය වැඩ තමයි මම පළමුව කරන්නේ. ඒ සමඟ මම හොඳට වතුර බොනවා. ඊට පස්සේ ගෙදර වැඩ කටයුතු කරනවා. මම පුරුදු වෙලා ඉන්නවා බබා ඉස්කෝලේ දාලා ඒ අතරතුර මගේ ව්‍යායාම කරන්න. මම මගේ කාලය ප්‍රයෝජනයට ගන්නේ එහෙමයි. මේ කටයුතු හැම එකක්ම ඇතැම් විට බොහොම හදිසියේ කළත් ඒවා ඉතා පිළිවෙළට කරන්න මම පුරුදුවෙලා තියෙනවා. හැමදාම මේ පිළිවෙළටමයි වෙන්නේ කියලා කියන්න අමාරුයි. රූගතකිරීම් නැති දවසක නම් එහෙම තමයි කරන්නේ. ඇත්තටම මගේ අක්කා ඉන්නවා මගෙ තනියට සහ සෑම දේකටම උදව්වට. අනෙක් එක මගේ සැමියා. එයත් මට සෑහෙන්න උදවු කරනවා පුතාගේ කටයුතු සාර්ථකව කරගන්න. මම ෂූටිං යන දවසට මගේ මහත්තයා තමයි මගේ වගකීම් භාරගන්නේ. හැමවෙලේම සහයෝගය ඇති පවුලක් හැටියට අපි කටයුතු කරගෙන යනවා.

රංගනයෙන් මෙන්ම නර්තනයෙන් ද ඉදිරියට යන ඇය සිය නර්තන කණ්ඩායමේ වැඩ කටයුතු පිළිබඳව පැවසුවේ මෙහෙමයි

ඇත්තටම මම නර්තන කණ්ඩායම නවත්තලා කාලයක් වෙනවා. බබා හම්බ වුණාට පස්සේ එයාගේ වැඩ මඟඇරෙයි කියලා හිතුණ නිසාම මම නර්තන කණ්ඩායමේ වැඩ නැවැත්තුවා. ඉතින් නර්තන කටයුතු මුකුත් දැන් කෙරෙන්නේ නැහැ. මේ වෙනකොට ටෙලි නාට්‍යවල රඟපාන ගමන් පුතාගේ වැඩකටයුතු, එයා මේ වෙද්දි පෙර පාසල් යන නිසා ඒ කටයුතුත් සියල්ල මගේ අතින් තමයි සිදු කරන්නේ. කාලය කළමනාකරණය කරගනිමින් ඒ දේවල් සියල්ල කරගෙන යනවා.

ලාංකීය සිනමාව තුළින් ඇයගේ ප්‍රතිභාව පෙන්නන්න නිසි අවස්ථාවක් ලැබුණාද යන්න පිළිබඳ ඇගෙන් විමසීමේදී ඇය මෙසේ කියා සිටියා,

ඇත්තටම සිංහල සිනමාව තුළ නම් මට නිසි අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ ගැන පොඩි පසුතැවිල්ලක් මට හැමදාම තියෙනවා. මොකද මගේ නර්තන කටයුතු පැත්තෙන් ගත්තත් ගොඩක් දේවල් කරන්න පුළුවන්කම තියෙනවා මට. ඒ ගැන මම විශ්වාස කරනවා. මගේ දක්ෂතාවට එහෙම අවස්ථාවක් ලැබුණද කියන එක ගැන මට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මම හරිම ආසාවෙන් සිනමාවට සම්බන්ධ වෙන්න හිටියා වගේම නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. නමුත් ඒ මගේ හිතේ තිබුණු නිර්මාණම නෙමෙයි. තව මගේ නිර්මාණ දෙකක් ඉස්සරහට එන්නත් තියෙනවා. සමහර උසස් ගණයේ චරිතවලට මට අවස්ථාව ලැබුණත් ඒ චරිත මට ලැබුණේ මගේ සීමාවෙන් පිට. මම ඇත්තටම ඒවා පිළිගත්තේ නැහැ. ඒවා සම්මානවලට යන්න පුළුවන් හොඳ නිර්මාණ. ඒ චරිතවලට විදේශ සම්මාන පවා ලැබුණා. ඒත් ඒ ගැන මට දුක නැහැ. මොකද මං හැමදාමත් මම මගේ සීමාව තෝරාගනිමින් මගේ ප්‍රතිපත්තිවල හැමදාම හිටිය නිසා. ඒ නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා. ඒ ගැන මට කිසිම පසුතැවිල්ලක් නැහැ. හොඳ චරිතයක් කරන්න මට ලැබුණ නම් කියන ආසාව මට හැමදාම තිබුණා. ඒත්, මට සිනමාවෙන් සාධාරණයක් ඉෂ්ට වුණේ නෑ කියන එක තමයි මට තියෙන අවසන් අදහස.

අලුතින් ක්ෂේත්‍රයට එන කලාකරුවන්ට තමන්ගේ ප්‍රතිභාව සමඟ ඉදිරියට යෑම වෙනුවෙන් ඇය දුන්නේ මෙවැනි උපදෙසක්

ඇත්තටම සමහරු කියනවනේ මේ ක්ෂේත්‍රයට එන්න හරිම අමාරුයි කියලා. ඇත්තටම මට ඒ ගැන එහෙම නරක අත්දැකීම් නෑ. අපි යහපත් නම්, අපි දක්ෂ නම් අපි යන මාර්ගය තීරණය කරන්න අපිට පුළුවන්. මගේ නර්තන කණ්ඩායම ඇතුළෙ ගුරුවරියක් හැටියට මම දිගු කාලයක් වැඩ කළා. විශේෂයෙන්ම යොවුන් වයසේ ගෑනු ළමයින් මගේ සිසුන් හැටියට වැඩ කළේ. මට පුළුවන් වුණා ඒ ළමයින්ට ක්ෂේත්‍රයේ හොඳ නමක් තියාගෙන දිගු ගමනක් යන්නට උදවු කරන්න. මේ ක්ෂේත්‍රය එහෙම නරක තැනක් නෙමෙයි. පරිස්සමින් කලබලයක් නැතිව ගමනක් ගියොත් මේක හරිම සුන්දර තැනක් වෙයි. මොකද කලාකරුවෝ කියන්නේ හරිම සුන්දර පිරිසක්.

මෙන්න බලන්න තවත් පුවත්