ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ විකාශනය වන කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ දොලේ මහත්තයාගේ මැනේජර්ගේ චරිතයට පණ පොවන ඇය මේ දිනවල බොහෝමයක් දෙනා අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා අවසන්. ඉතිං තවමත් පාසල් අවදියේ ගත කරන ඇය කවුරුන්ද යන්න පිළිබඳව ඇයගෙන්ම අසා දැනගැනීමට අපි රුක්ෂලා විජේසිංහව මෙවර මීවිතට සම්බන්ධ කරගත්තා

සම්පූර්ණ නම කියමුද?

ෂමින්ද්‍රි රුක්ෂලා විජේසිංහ. නමුත් මම භාවිතා කරන්නේ රුක්ෂලා විජේසිංහ කියලා.

වයස ?

පෙබරවාරි මාසෙට අවුරුදු දාහතයි.

පදිංචිය?

කෝට්ටේ.

පාසැල?

රාජගිරිය Gateway college.

පවුලේ විස්තර?

තාත්ති අම්මි අයියා සහ මම. අයියා නීතී ශිෂ්‍යයෙක්.

කෝලම් කුට්ටම ටෙලි නාට්‍ය රුක්ෂලාගේ ප්‍රථම ටෙලිනාට්‍ය අත්දැකීමද ඒ ගැන මොකද හිතෙන්නේ?

ඔව්. ඇත්තෙන්ම මට මේ නාට්‍යයේ මුණ ගැහුන දක්ෂ රංගන ශිල්පීන්ගෙන් සහ පළපුරුදු Crew එකෙන් ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා. මම ගොඩක් දේවල් එයාලගෙන් ඉගෙන ගන්නවා. සම්පත් අයියා, අනුරාධා අක්කි, නිනෝ අයියා වගේ කෝලම් කුට්ටමේ රඟපාන ගොඩක් අයට මම පොඩි කාලේ ඉඳලම හරි කැමතියි. මට එතැනදී මුණගැහුණ හොඳම සහෝදරයෝ තුන්දෙනෙක් තමයි ගාන්ධාර අයියා, රන්ජුල අයියා සහ මානෙත් අයියා කියන්නේ. ඇත්තටම Crew එකෙන් ලැබෙන සහයෝගය ගැන නම් කියන්න වචන නැහැ. ඒ තරමටම එයාලා හරිම සුහදශීලියි. ඒ වගේම මගේ පළවෙනි ටෙලි නාට්‍යය ශිවා සර්ගේ අධ්‍යක්ෂණයක් නිසා මට එය ලොකු අත්දැකීමක් වුණා.

කෝලම් කුට්ටමට ආරාධනා ලැබුණේ කොහොමද?

මම IMPAS ශිෂ්‍යයෙක්. සද්ධා සර් සහ චේතනී මිස් තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ.

මේ නාට්‍යයේ දොලේ මහත්තයාගේ Manager වෙන්න පුළුවන් වීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. ගොඩක් දෙනෙක් මට කතා කරනවා දොලේ මහත්තයාගේ මැනේජර් කියලා. හොඳට චරිතය කරනවා කියලත් කියනවා. මිනිස්සුන්ට දැනෙන චරිතයකින් රූපවාහිනි තිරයක පෙනී සිටින්න ලැබීම ම ලොකු වාසනාවක්. ඇත්තටම මම සද්ධා සර්ට සහ චේතනී මිස්ට හදවතින්ම” ආදරයෙන් ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දුන්නට. ප්‍රසන්න සර් ඇතුළු සියලුම IMPAS ගුරුවරුන්වත් මේ වෙලාවෙ මම ආදරයෙන් මතක් කරනවා.

පාසැලේ දීත් රංගනය විෂයක් විදියට හදාරලා තියෙනවද?

ඔව්” අනිවාර්යයෙන්ම. මම ප්‍රසිද්ධ වේදිකාවක රඟපෑවේ තුන වසරේදී. ඒ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ. එතැන ඉඳලා මම දිගටම පාසලේ නාට්‍ය වල හිටියා. All Island shakespeare Competition, Trinity competition වගේ සමස්ත ලංකා තරඟ වල හොඳම නිළිය සම්මාන ලබාගෙන තියෙනවා. London O/L වලත් නාට්‍ය විෂයක් විදියට කළා. මම ආදරෙන් මතක් කරනවා මගේ පාසලේ නාට්‍ය සර් ජෙරොම් ද සිල්වා සහ මිස් වසන්ති ජයවර්ධනව.

රංගනයට එනවට පාසලෙන් විරුද්ධ වුණේ නැද්ද?

නැහැ. පාසල තමයි මගේ රඟපෑමේ පළමු පියවර.

යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

එයාලත් ගොඩක් සතුටුවෙනවා. එයාලා දන්නවා රඟපෑම මගේ පොඩි කාලේ ඉඳලම තිබුණ ලොකු හීනයක් කියලා. ඉතින් එයාලගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?

ඇත්තටම මම මගේ අම්මිට කොයිතරම් ස්තූති වන්ත වෙන්න ඕනෑද කියලා කියන්න මට වචන නෑ. එයා මාව රූගත කිරීම් වලට ගෙනයනවා විතරක් නෙවෙයි” ඒ අතර සෑම දෙයකටම සෙවනැල්ලක් වගේ මාත් එක්කම ඉන්නවා. මගේ තාත්තීත්, අයියත් ඒ වගේම මට උදව් කරනවා මේ කටයුතු කරගෙන යන්න.

අධ්‍යාපන කටයුතු සහ රංගන කටයුතු සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද?

පාසලේදීත් අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන විදියට මලල ක්‍රීඩා” පිහිනීම” නාට්‍යකරණය වගේ විෂය බාහිර කටයුතු උපරිම මට්ටමෙන් සමබරව මම කළා. ඒ වගේ ප්‍රවේශමෙන් කාලය කළමනාකරණය කර ගත්තොත් ලොකු අමාරුවක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ඉස්සෙල්ලාම කැපවීමෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සහ උසස් පෙළ කඩඉමට හොඳින් මුහුණදෙන්න ඕනෑ. ඒ අතරේ අවස්ථාව ලැබෙන විදිහට රංගන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

පාරමී කෞෂිකා
ඡායා – ගයාන් කරුණාරත්න

පැරණි පුවත් – මම මියුසික් කරන්න බලපෑ ප්‍රධාන හේතුවත් සීයායි–වික්ටර් රත්නායකගේ මුණුබුරා

ආචාර්ය වික්ටර් රත්නායක මහතා ලාංකේය සංගීතයට විශාල සේවයක් ඉටු කළ සංගීතඥයෙකි. ඔහුගේ මුණුබුරා වන විනුජ තරුෂ්කද මේ වනවිට සංගීත ක්ෂේත්‍රයට පිවිස සිටින අතර ඔහු සීයා මෙන් සංගීතයේ වෙනස් ගමනක යන තරුණ නිර්මාණකරුවෙකි. මේ ඔහු සමග සිදුකළ සාකච්ඡාවකි.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම විනුජ තරුෂ්ක ගුණසේකර. මගේ වයස අවුරුදු 18යි. සංගීතය තමයි මම කැමතිම දේ.

ඔබ වික්ටර් රත්නායක ශූරීන්ගේ මුණුබුරා?
ඔව්. වික්ටර් රත්නායක මහතාගේ දුව චාන්දනී රත්නායක තමයි මගේ අම්මා. මගේ පවුලේ මමයි, අප්පච්චියි, අක්කායි. අම්මා නැතිවුණේ දැනට අවුරුදු පහකට කලින්.

විනුජ සංගීතය කරන්නේ සීයාගේ සහ පවුලේ තිබුණු සංගීත වටපිටාව නිසාමද?

මම හිතන්නේ එහෙම වෙන්න ඕනේ. මම පොඩි කාලේ ඉඳලාම අපේ ගෙදර තිබුණේ සංගීත පරිසරයක්නේ. සීයායි මමයි අපි එක ගෙදර හිටියේ. පොඩි කාලේදි කනට ඇහෙන්නේ සංගීතය. ගේ පුරා දකින්නේ සංගීත භාණ්ඩ. ඒ දේවල් එක්කනේ මම හැදුණේ.

ඔබ ජාතික රූපවාහිනියේ සංගීතමය වැඩසටහකට සම්බන්ධ වනවා?

ඔව්. ජාතික රූපවාහිනියේ මේ වෙද්දි විකාශය වන ජනප්‍රිය වැඩසටහනක් තමයි Coke Red කියන්නේ. ඒ වැඩසටහනට සංගීතය සපයන්න අපේ සංගීත කණ්ඩායමට අවස්ථාව ලැබිලා තියෙනවා. මම සහ මගේ යාළුවෝ එකතු වෙලා දැනට අවුරුද්දකට විතර කලින් පටන් ගත්තා MID LANE කියලා සංගීත කණ්ඩායමක්. ඒක තමයි මේ සතියේ ඉඳලා Coke Red වැඩසටහනේ සංගීතය සපයන්නේ. මේ දවස්වල වැඩ කරන්නේ ඒකත් එක්ක.

MID LANE ගැන කිව්වොත්?

මම තමයි කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියා. එතකොට ඩබල් කීබෝඩ් ගහන්නේ චාතූර් සමරසිංහ. චන්දු ජයවර්ධන දෙවැනි කීබෝඩ් වාදන ශිල්පියා. ලීඩ් ගිටාර් ප්‍රමෝද් ජයවර්ධන. බේස් ගිටාර් බිම්සර පෙරේරා. අනූප කහන්ගමගේ ඩ්‍රම්ස් වාදකයා. අපේ බෑන්ඩ් එකේ ඔක්කෝම හය දෙනයි. අපි හැමෝම යාළුවෝ. අපිට නායකයෙක් නැහැ. අපි යාළුවෝ හැමෝම හොඳ තේරුම්ගැනීමකින්, අනෙකාට සවන් දීලා වැඩ කරන්නේ.

ඔබේම ගීත නිර්මාණය කර තිබෙනවාද?

ඔව්. පොඩි කාලේ සීයා මට ගොඩක් සින්දු හදලා දීලා තියෙනවා. 2015 ‘පැණිමොර මල්’ කියලා මම ළමා ගීත තැටියකුත් කළා. ඒකට ‘රාජ්‍ය සංගීත සම්මාන උළලේදී’ හොඳම ළමා ගීත සංයුත තැටිය ලෙසින් සම්මානයකුත් ලැබුණා. ඊටපස්සේ මෑතකදී මම සින්දු හදන්න පටන්ගත්තා. මම ටිකක් සීයාගේ සංගීතයෙන් වෙනත් පැත්තකට ගිහිල්ලා ගීත නිර්මාණය කරනවා. මම අන්තිමටම කළේ ‘ආහල්‍යා’ ගීතය. මේ මාසේ මගේ අළුත් ගීතය ‘මාවතේ’ එන්න නියමිතයි.

පවුල් පසුබිමෙන් ඔබට ලැබුණු සහයෝගය ගැන දකින්නේ කොහොමද?

පවුලෙන් තමයි මට ලොකුම සහයෝගය ලැබෙන්නේ. විශේෂයෙන් සීයා, අම්මා, අප්පච්චි, අක්කා ලොකු සහයෝගයක් සහ උපදෙස් ලබා දෙනවා. පොඩි කාලේදී සීයා හැමවෙලාවේම සංගීත ක්ෂේත්‍රය ගැන කියලා දුන්නා. මම මියුසික් කරන්න ප්‍රධානම හේතුවත් සීයා. ඒ වගේම ජයන්ත රත්නායක සහ ලෙලුම් රත්නායක කියන මගේ මාමලා දෙන්නාත් ලොකු සහයෝගයක් දෙනවා. මට පොඩි කාලේ ඉඳලා මියුසික් පැත්තෙන් දෙන්න ඕනේ හැම හයියක්ම දුන්නා. ඒ වගේම දැන් අප්පච්චි තමයි මගේ පිටිපස්සෙන් හැමවෙලාවේම ඉන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්