එක්දරු මවකට පහරදුන් බවට සැකපිට අද (23) පස්වරුවේ කළුතර නගර සභා අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.

සැකකරු කළුතර නගර සභාවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් දේශාස්ත්‍ර තොටුපළ කොට්ඨාසයෙන් තරගවැදීම සදහා නාමයෝජනා භාරදී ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කීය.

කළුතර උතුර කාන්තාවක විසින් කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

පැමිණිලිකාරිය සහ සැකකරු යන දෙදෙනාම අසල්වාසියන් වන බවත්, කලක පටන් පවතින ආරවුලක් බහින්බස් වීමක් දක්වා දුරදිග ගිය යාමෙන් පසු පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සදහන්ව ඇතැයිද පොලිසිය සදහන් කරයි.

කාන්තාව හඩමින් පොලිසිය පැමිණකල පැමිණිල්ලට අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

පැමිණිල්ල කිරීමෙන් පසු පැමිණිලිකාරිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුල්වීම සදහා පිටව ගිය බවද පොලිස් නිළධාරීයෙක් කීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

පැරණි පුවත් – උඩුගුවනේ දී රෝගී වූ කතක බේරාගත් ලාංකික වෛද්‍යවරිය

මෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී අසනීප වූ වයෝවෘද්ධ කාන්තාවකට හදිසි ප්‍රතිකාර ලබා දී ජීවිතය ආරක්ෂා කර දීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් වන මනෝරි ගමගේ මහත්මිය ඉකුත් දා සමත්වූවාය.

කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන ඇය ප්‍රතිකාර ලබාදී බේරාගෙන ඇත්තේ ද ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය විදෙස්ගතව සිටින දරුවන් බැලීමට ගොස් තෙමසකට පමණ පසු නැවත පැමිණෙමින් සිට ඇත.

එම කාන්තාව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානාවකින් මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිය දී හුස්ම ගැනීමේ අපහසුතාවයකට ලක්ව ඇති අතර, වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යමය ආධාර දිය හැකි අයකු සිටී නම් දැනුම් දෙන ලෙස ගුවන් යානා කාර්ය මණ්ඩලය නිවේදනය කර ඇත.

එම අවස්ථාවේ මනෝරි ගමගේ මහත්මිය මෙන්ම ඕස්ටේ්‍රලියාවේ හෙදියක ලෙස සේවය කරන ලාංකික කාන්තාවක් ද ඉදිරිපත් වී තිබේ.

රෝගී කාන්තාව සතුව තිබී ඇත්තේ සැල්බියුටමෝල් වර්ගයේ ඉන්හේලරයක් පමණක් වන අතර, වෙද නලාව හා රුධිර පීඩනය පරීක්‍ෂා කරන උපකරණයක් පමණක් ඇතිව සිටි වෛද්‍යවරිය ගුවන් මගියකුගේ පහසුකම් සහිත ඔරලෝසුවක් භාවිතයෙන් ඇගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැන, ගුවන්යානයෙන් ඉල්ලාගත් ඔක්සිජන් සිලින්ඩරයකින්, ඔක්සිජන්ද, මගීන් සතුව තිබී ලබාගත් ඇස්ප්‍රීන්, හා ප්‍රෙඩ්නිසොලෝන් ඖෂධය සහිත කුඩා දරුවෙකුට ලබාදෙන සිරප් ආදී ඖෂධ ද ලබාදෙමින්, කටුනායක ගුවන්තොටුපල දක්වාම ඇය නිරුපද්‍රිතව රැගෙනඒමට සමත්වී ඇත.

වෛද්‍යවරිය මේ සම්බන්ධයෙන් සිය මුහුණු පොතෙහි ද සටහනක් තබා තිබිණි.

විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ මහත්මිය අප කළ විමසීමකදී පැවසුවේ තමන් ජනවාරි මසදී මෙම අවස්ථාවට මුහුණ දුන් බවත්, ගුවන් ගමන ඇරඹී විනාඩි 45කට පමණ පසු එම කාන්තාව රෝගී වූ බවත්ය.

ගුවන්යානයකදී මගියකු අසනීප වූ විට එහි ගමන් කරමින් සිටින වෛද්‍යවරුන්ගේ සහය ලබාදීම සාමාන්‍ය දෙයක් වුවත් අඩි දසදහස් ගණනක් ඉහළ අහසක තනිව ගමන් කරමින් සිටියදී රෝගී වූ ඇගේ තොරතුරු විමසීමෙන් පසු, දරුවන් විදේශගතවීම නිසා ඉදිරියේදී මෙරට දෙමාපියන් මුහුණදිය හැකි තත්වය ගැන කම්පාවෙන් ඒ ගැන මුහුණු පොතෙහි සටහන් කළ බව ඇය කීවාය.

ඇය සිටියේ ඉතා අවදානම් තත්වයක නිසා යානය පර්ත් නුවරට ගොඩබැස්සවීමට පවා ගුවන්යානයේ කපිතාන්වරයා සමඟ සාකච්ඡා කරමින් ගිය බව වෛද්‍ය මනෝරි ගමගේ මහත්මිය පැවසුවාය.

නමුත් ලබාදුන් ප්‍රතිකාර හමුවේ ඇගේ හුස්ම ගැනීමේ අපහසුතාව තරමක් මගහැරී ගිය නිසා කටුනායක දක්වාම යානය පැමිණි බවත්, ඒ අතරතුර රෝගී කාන්තාව තමන්ගේ විස්තර ද පැවසූ බවත් වෛද්‍යවරිය කීවාය.

වෛද්‍යවරිය පැවසූ අන්දමට එම කාන්තාගේ දරුවන් තිදෙනාගෙන් එක් අයෙක් එංගලන්තයේත්, අනෙක් දෙදෙනා ඕස්ට්‍රලෙියාවේත් පදිංචිව සිටින අතර, ඇය දරුවන් බලන්නට ගොස් මාස 3කට පසු ලංකාවට පැමිණෙමින් සිට ඇත.

අවුරුදු 85ක් වූ මෙම මව දරුවන් බලා ආපසු එන අතරතුර අසරණ වු අන්දමට ඉදිරි අනාගතයේදී දෙමාපියන් බහුතරයක් අසරණ විය හැකි බව කී වෛද්‍යවරිය දරුවන්ට දෙමාපියන් දමා විදේශගත වන්නට සිදුව ඇත්තේ, නිසි වැටුපක් නොලැබීම, ලැබෙන වැටුපටත් බදු ගැසීම ආදී ගැටලු නිසා බව ද කීවාය.

දරුවන් දෙමාපියන් රැකබලා ගැනීමට ලංකාවේ රැඳිය යුතුයැයි තමා කිසිසේත් නොසිතන නමුත් දරුවන් විදේශ ගතවූ පසු ඔවුන්ගේ මවුපියන්ට සේවා ලබාදිය හැකි සක්‍රිය හා සංවිධානාත්මක ක්‍රමවේදයක් ඇරඹීමට කාලය එළඹ ඇති බව ද ඇය සඳහන් කළාය.

මෙන්න බලන්න තවත් පුවත්