පුතකුගේ අනියම් ඇසුරක් නිසා ඔහුගේ මවට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ අනුවේදනීය පුවතක් ඉකුත් සතියේ සූරියවැව පොලිස් වසමෙන් වාර්තා විය. මෙසේ සිය ජීවිතයෙන් වන්දි ගෙවූයේ සූරියවැව වීරියගම වටරවුම පාරේ පදිංචිව සිටි 58 හැවිරිදි දෙමටගොඩ ගමගේ මල්කාන්ති නමැත්තියකි.

සාහසිකයන් කණ්ඩායමක් මල්කාන්තිගේ නිවෙසට කඩාවැදී ඇය පැහැරගෙන ගොස් ඉතා අමානුෂික ලෙස පහරදී ඇය මරා දමා පසුව ඇගේ සිරුර ඇඹිලිපිටිය ආයුර්වේද රෝහල අසල මාර්ගයේ දමා ඔවුන් පලාගොස් තිබිණි. නාඳුනන කාන්තාවකගේ මළසිරුරක් රෝහල අසල පාරේ ඇති බවට ලැබුණු තොරතුරක් ඔස්සේ සූරියවැව පොලිස් ස්ථානාධිපති සුසන්තගේ මෙහෙයවීම මත මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරිණි.

ඒ වනවිට මල්කාන්තිගේ දියණියද සූරියවැව පොලිසියට පැමිණ කණ්ඩායමක් තම මව කාර් රථයක දමාගෙන පලාගිය බවට පැමිණිල්ලක් කර තිබුණාය.

මෙම අමානුෂික ඝාතනය පොලිස් පොතේ සටහන් වන්නේ මෙලෙසිනි.

මල්කාන්තිට දරුවන් තිදෙනෙකි. ඇය දරුවන්ද රැකබලා ගනිමින් ගෘහණියක ලෙස නිවෙසට වී දරුවන්ගේ වැඩකටයුතු සිදු කළාය. මල්කාන්තිගේ සැමියා ගොවිතැනින් මුදලක් උපයාගත් තැනැත්තකු විය.

ඇගේ වැඩිමහල් දරුවෝ දෙදෙනා මේ වනවිට විවාහ වී වෙනම ජීවත් වෙති. රොෂාන් මේ පවුලේ බාලයාය. ඔහු අවිවාහකය. වැඩිමහල් දියණිය නිරෝෂා විවාහයෙන් පසු පදිංචිව සිටියේ ගාල්ල ප්‍රදේශයේය. මවුපියන්ගේ සුවදුක් විමසන රිසියෙන් පසුගියදා ඇය වටරවුම පාරේ පිහිටි නිවෙසට පැමිණියාය. ඒ ඇගේ සැමියාද සමඟිනි.

ඒ ඉකුත් ජනවාරි මස 03 වැනිදාය. වේලාව සවස 6ට ආසන්නය. කොළ පැහැති මොටෝ රියක් මල්කාන්තිගේ නිවෙස ඉදිරිපිට නතර විය. මල්කාන්තිත් නිරෝෂාත් ඇගේ සැමියාත් නිවෙස තුළ සිටියහ. මොටෝ රියේ පැමිණි තිදෙනා කලබලයෙන් නිවෙසට ඇතුළු වූහ.

“කෝ රොෂාන්?”

“මම දන්නේ නැහැ මහත්තයෝ”

මල්කාන්ති පැමිණි අයට පිළිතුරු දෙමින් කීවාය.

“මාව හඳුනනවද?”

“ඔව්. ඔව්. සම්පත් මුදලාලිනේ?”

මොහොතකින් සම්පත් මල්කාන්ති ඉදිරියේ බැගෑපත් විය. රොෂාන් තම බිරිය රැගෙන ගොස් ඇති බවත් තම දරුවාට මව අවශ්‍ය නිසා රොෂාන්ට කතාකොට තම බිරිය ලබාදෙන ලෙසත් සම්පත් මල්කාන්තිගෙන් ඉල්ලා සිටියේය. මේ කතාව මල්කාන්තිගේ දුව නිරෝෂාටද ඇසිණි.

“අනේ මුදලාලි පුතා කොහේ ඉන්නවද කියලා මම දන්නේ නැහැ. දැන් දවස් ගාණකින් ගෙදර ආවේ නැහැ. අපි හිතුවේ හෝටලයේ වැඩ ඇති කියලා”

මල්කාන්ති, සම්පත් මුදලාලිට එසේ පිළිතුරු දෙන අතරතුර නිරෝෂා වහා සිය සොහොයුරා වූ රොෂාන්ට දුරකථන ඇමතුමක් ගත්තාය.

“මල්ලි ඔයා කොහේද ඉන්නේ? මොකක්ද මේ කියන කතාව? ඉක්මනට ගෙදර එන්න. මේ සම්පත් මුදලාලිත් අපේ ගෙදර ඇවිත් ඉන්නේ. මොන ලැජ්ජා නැති වැඩක්ද මේ?”

නිරෝෂා සම්පත්ට බැන වදිමින් කියන්නට වූවාය. ඒ අතරදී වහා ක්‍රියාත්මක වූ සම්පත්, නිරෝෂාගේ අත තිබූ ජංගම දුරකථනය උදුරාගෙන රොෂාන්ට කතා කරන්නට විය.

“රොෂාන් මගේ දරුවට අම්මා කෙනෙක් ඕනෑ. මට මගේ ගෑනි ගෙනත් දීපන්”

සම්පත්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ රොෂාන් එවිට ඔහුට පවසා ඇත්තේ, “මගේ ළඟ ඔයාගේ ගෑනි නැහැ. ඔයාට පුළුවන් දෙයක් කරන්න” යනුවෙන්ය.

ඒ වචන ඇසීමත් සමඟ සම්පත් කෝපයට පත්විය.

“එහෙනම් මම උඹේ අම්මව අරගෙන යනවා. මගේ ගෑනි ගෙනත් දුන්නට පස්සේ උඹේ අම්මව එවන්නම්”

එලෙස රොෂාන්ට පැවැසූ සම්පත් රොෂාන්ගේ මවගේ බලවත් අකැමැත්ත මත මල්කාන්තිව ඔවුන් පැමිණි මොටෝ රියට දමා ගත්තේ ගෝලයන් වූ කසුන් සහ තරංගගේද ආධාරයෙනි. මල්කාන්ති රථයට ගොඩවූයේද සිය ජංගම දුරකථනයද අතැතිවය.

“මල්ලිට කියන්න මම ඉන්න තැනට මගේ ගෑනි ගෙනැත් දීලා ඔයාලගේ අම්මාව අරගෙන යන්න කියලා”

මල්කාන්ති රැගත් මොටෝ රිය නොපෙනී යනතුරු නිරෝෂා බලා සිටියාය. සිදුවූ දෙයින් නිරෝෂා මෙන්ම ඇගේ සැමියාටද කර කියාගත දෙයක් නොවීය.

“මොකක්ද අපි කරන්නේ?”

“තව පොඩ්ඩකින් අම්මට කෝල් එකක් අරන් බලමු”

සැමියාගේ කීම මත විනාඩි තිහකට පමණ පසු නිරෝෂා සිය මවට දුරකථන ඇමතුමක් ගත්තාය. ඇමතුමට පිළිතුරු දුන්නේ සම්පත්ය. “අම්මට ෆෝන් එක දෙන්න” සම්පත් දුරකථනය මල්කාන්තිට දුන්නේය.

“අම්මා ඔයා කොහේද ඉන්නේ? ඔයාට කරදරයක් නැහැ නේද?”

නිරෝෂා මල්කාන්තිගෙන් විමසුවාය.

“අනේ පුතේ මුන් මාව පාළු ගෙයක හිර කරලා.. කොහේ ඉන්නවද කියලා මම දන්නේ නැහැ. මොරකැටිය පැත්තෙ වගේ පුතේ”

නිරෝෂාට හීන් දාඩිය දැම්මේ එවිටය. ඇගේ සිත ගිඩි _ ගිඩි හා ගැහෙන්නට වූවාය. කළයුත්තේ කුමක්දැයි ඇයට නොවැටහිණි. ඇය නැවත මව ඇමතුවාය.

“දුවේ මල්ලිට කියන්න අර ගෑනිව ඉන්න තැනකින් ගෙනැත් දෙන්න කියලා. මට මුන් කරදර කරනවා”

අම්මා කතා කරන්නේ දැඩි වේදනාවකින් බව නිරෝෂාට වැටහුණාය.

රාත්‍රි ‍ෙදාළහට පමණ නිරෝෂා නැවතත් මවගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන්නාය. ඊට පිළිතුරු දුන්නේද සම්පත්ය.

“කෝ අම්මා? අම්මට ෆෝන් එක දෙන්න” එවර සම්පත් මල්කාන්තිට දුරකථනය දුන්නේ නැත.

“උඹගේ අම්මා මෙතැන නැහැ. අම්මා මළා. ගිහින් මෝචරියේ බලපන්”

එසේ කියමින් සම්පත් දුරකථනය විසන්ධි කළේය. ඉන් බියට පත් නිරෝෂා නැවත නැවතත් මවගේ දුරකථනයට ඇමතුම් ගත්තද එය විසන්ධි වී තිබිණි.

පොලිසිය මේ වනවිට කළ විමර්ශනයේදී මෙවැන්නක්ද හෙළි විය. මල්කාන්තිට තර්ජනය කරමින් රොෂාන් ලවා ඔහුගේ බිරිය ගෙන්වා ගැනීමට කොතෙකුත් උත්සාහ ගත්තද එය අසාර්ථක වූ තැන සම්පත් මල්කාන්තිට පහරදී ඇත.

ඒ අතරවාරේ මල්කාන්තිගේ පුතුන් වූ රොෂාන්ටද ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ අසේලටද සම්පත් දුරකථන ඇමතුම් ලබාගෙන තිබේ. එම ඇමතුම්වලදී මල්කාන්තිට පහරදෙන හඬ ඔවුන්ට දුරකථනය ඔස්සේ ඇහෙන්නටද සම්පත් කටයුතු කර ඇත. පොලිසිය කළ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ සම්පත් විසින් මත්පැන් බෝතල් ගෙන්වමින් ඒවා ගෝලයන් දෙදෙනා සමඟ පානය කරමින් මල්කාන්තිට එලෙස පහරදී ඇති බවය.

කෙසේ වෙතත් මේ බව නොදත් නිරෝෂාද ඒ වන විට සිටියේ මහත් සැකයකින් හා බියකින් යුක්තවය. ඒ සම්පත් විසින් කර තිබූ තර්ජන නිසාය.

“උඹලා මේ ගැන පොලිසියට කිව්වොත් අම්මව මෙතනම මරනවා දැන ගනින්”

මේ නිසා නිරෝෂා පොලිසියට යෑමටද බියක් දැක්වූවාය. එදින රාත්‍රියත් ගෙවී ගියද මල්කාන්ති නිවෙසට නොපැමිණියාය. කළයුත්තේ කුමක්දැයි ඇයට නොවැටහුණාය. මවගේ දුරකථනයට දිගින් දිගටම ඇමතුම් ගත්තද එය විසන්ධි වී තිබිණි.

මල්කාන්ති සොයා ගැනීමට නොහැකි වූ තැන නිරෝෂාගේ ඥාති පාර්ශ්වය ඇයට උපදෙස් දුන්නේ සූරියවැව පොලිසියට ගොස් සිද්ධිය පවසා පැමිණිල්ලක් දමන ලෙසය. ඉකුත් 4 වැනිදා ඇය සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයා හමු වී මව පැහැරගෙන යෑමේ සිදුවීම එකක් නෑර විස්තර කරමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

“තුන් දෙනෙක් කාර් එකකින් අපේ ගෙදර ඇවිත් මගේ අම්මව අරන් ගියා”

“ආවේ කවුද කියලා දන්නවද?”

“මම නම් හඳුනන්නේ නැහැ සර්. අම්මා නම් හඳුනනවා. එක්කෙනකුට සම්පත් මුදලාලි කියලා තමයි අම්මා කතා කළේ”

“එයාගේ හෝටලයක තමයි අපේ රොෂාන් මල්ලි වැඩ කළේ”

නිරෝෂා සියල්ල එකක් නෑර ස්ථානාධිපතිවරයා ඉදිරියේ දිග හැරියාය. රොෂාන් මල්ලිත් සම්පත් මුදලාලිත් අතර ඇති වූ ආරවුලක් මත තම මව පැහැරගෙන ගිය බවත් ඇය ස්ථානාධිපතිවරයා හමුවේ පැවසුවාය.

සූරියවැව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ඇගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹුණේ ඉන් පසුවය. ඒ අනුව කණ්ඩායමක් සම්පත් සොයා ඇඹිලිපිටිය ඔහුගේ නිවෙසට ගියහ. එහෙත් සම්පත් එහි නොවීය. පසුව ඒ අසලම ඔහු රැඳී සිටින බෝඩිමකටද නිලධාරීහු ගියහ. ඔවුන් එහි උඩුමහල කුලියට ගෙන තිබිණි. එහෙත් සම්පත් ඇතුළු කණ්ඩායම එම කුලී නිවසේද නොවූහ.

නිරෝෂා මෙසේ සූරියවැව පොලිසියට සිය මව ආගිය අතක් නැති බව කියමින් පැමිණිලි කරද්දී ඊට පැය කිහිපයකට පෙර ඇඹිලිපිටිය පොලිසිය මඟින් ඇඹිලිපිටිය රෝහල් පාරේ තිබී නාඳුනන කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබිණි. ඇඹිලිපිටිය පොලිසිය ඇය කවුදැයි හඳුනාගැනීම සඳහා සෙසු පොලිස් ස්ථානවලට දන්වමින් පණිවුඩයක් ලබාදී තිබුණේය.

“ගෑනු කෙනෙක්ගේ බොඩියක් ඇඹිලිපිටිය ඉස්පිරිතාලේට යන පාරේ තිබිලා එහෙ පොලිසියට හම්බවෙලා තියෙනවා. ඔයත් පොඩ්ඩක් ඇඹිලිපිටියට ගිහින් බලනවද.”

සූරියවැව පොලිසියෙන් කළ එම දැනුම්දීමට අනුව එම නාඳුනන කාන්තා සිරුර දැක බලා ගැනීමට නිරෝෂා ඥාතියකු සමඟ ඇඹිලිපිටිය පොලිසියට ගියාය.

එහෙත් ඒ වන විටත් ඇඹිලිපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට මහෙස්ත්‍රාත්වරියගේ නියෝග මත කාන්තා මළසිරුර තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ගොස් තිබිණි. ඒ ඇඹිලිපිටිය රෝහල් මෘතශරීරාගාරයේ ශීතකරණ යන්ත්‍ර අක්‍රියව තිබූ නිසාය.

පසුව මෘත ශරීරාගාරයේ තිබූ නාඳුනන කාන්තා මළසිරුර නිරෝෂාට සහ පවුලේ ඥාතියාට පෙන්වීමත් සමඟ පැතිර ගියේ මහ විලාප හඬකි.

“දෙයියනේ මගේ අම්මා. මුන් මගේ අම්මව මරලා”

ඇය මල්කාන්තිගේ සිරුර හඳුනා ගත්තාය. පසුව මල්කාන්තිගේ සිරුර පිළිබඳව පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ මොට ආයුධයකින් හිසට පහරදීම නිසා ඇති වූ අභ්‍යන්තර රුධිරය ගැලීමකින් ඇය මියගොස් ඇති බවය.

එහෙත් නිරෝෂාට මවගේ මළසිරුර ගැන කිසියම් සැකයක් තිබිණි. ඒ මව නිවෙසින් පැහැරගෙන යද්දී හැඳ සිටි ඇඳුම වෙනුවට නිල් තිත් සහිත සුදු පැහැති බ්ලවුසයක් ඇයට අන්දවා ඇති බවය. ඇය මේ බව පොලිස් නිලධාරියාට කීවාය. නිලධාරීන් සැක කළේ ඝාතකයන් විසින් එසේ කරන්නට ඇති බවය.

පසුව මල්කාන්තිගේ ඝාතකයන් සොයා සූරියවැව සහ ඇඹිලිපිටිය පොලිසි පුළුල් විමර්ශනයක් ඇරැඹීය. ඒ වන විට මල්කාන්ති පැහැරගෙන යෑම සම්බන්ධයෙන් සම්පත් නමැත්තා හඳුනාගෙන තිබීම නිසා නිලධාරීන්ගේ ඉලක්කය වූයේ සම්පත්ය.

මේ බව ඒ වන විට සම්පත්ද දැන සිටියේය. පොලිසියෙන් ඔහුට ගැලවුමක් නැති බව ඔහුට තේරුණි.

නිලධාරීන් ඒ වන විටත් මල්කාන්තිගේ මළසිරුර හමු වූ ස්ථානය අවට තිබූ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කර තිබිණි. එහිදී රාත්‍රි 12ට පමණ කොළ පැහැති මෝටර් රථයක් ඇඹිලිපිටිය රෝහල් පාරේ ධාවනය වන අයුරුත් නිරීක්ෂණය විය. එම කාරය නිරෝෂා හඳුනා ගත්තාය. තම මව පැහැරගෙන ගියේද එම රථයෙන් බව ඇය නිලධාරීන්ට කීවාය. එම රථය සම්පත් නමැත්තාට අයත් බවටද හඳුනාගනු ලැබිණි. සම්පත් මේ සිදුවීමට සම්බන්ධ බව නිලධාරීහු තහවුරු කර ගත්හ.

පොලිසිය සම්පත් ඇතුළු කණ්ඩායම කොටුකර ගැනීමට මෙසේ මෙහෙයුම් කරද්දී පොලිසියෙන් බේරුමක් නැති බව දත් සම්පත් සිය සගයන්ද සමඟ නීතිඥවරයකු මාර්ගයෙන් සූරියවැව පොලිසියට භාර වූහ.

පසුව කරන ලද ප්‍රශ්න කිරීමේදී මල්කාන්ති ඝාතනය වූ ස්ථානයද සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය. ඇය ඝාතනය වී ඇත්තේ සම්පත්ගේම ඥාතියකුට අයත් බෝඩිමක් තුළදීය.

“මෙයාලා මල්කාන්තිව මරා දැමීමෙන් පස්සේ එක දවසක් තෙල්දෙණියේ ගතකරලා තිබුණා. ඒක සම්පත්ගේ ඥාති සහෝදරියකගේ ගෙදරක්. පහුවැනිදා මෙයාලා ඇඹිලිපිටියට ඇවිත් තිබුණත් මල්කාන්තිගේ අයිඩෙන්ටියයි හෑන්ඩ් බෑග් එකයි ඒ ගෙදර දාලා ගිහින් තිබුණා. පස්සේ මේවා තෙල්දෙණිය පොලිසියේ තිබිලා අපි භාර ගත්තා.

මෙයාලා මල්කාන්තිව අරගෙන ගිය කොළ පාට කාර් එක සර්විස් සෙන්ටර් එකක තිබිලා අපි හොයාගත්තා.” විමර්ශන පැවැත්වූ නිලධාරියෙක් කීවේය. පසුව සැකකරුවන් තිදෙනාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගැනීම සිදු කෙරිණි.

“මම මල්කාන්තිට ගැහැව්වේ මැරෙන්න නෙමේ. රොෂාන්ට දැනෙන්න. අම්මට ගහන එක ඇහිලා රොෂාන් මගේ ගෑනිව ගෙනත් දෙයි කියලා මං හිතුවා. පස්සේ එයාට සිහි නැතිවුණා. කටින් හුස්මත් දුන්නා. මම කිව්වා මෙයාව කාර් එකේ දාගෙන ඉස්පිරිතාලෙට ගෙනියමු කියලා. අන්තිමට අපිට තේරුණා මල්කාන්ති මැරිලා කියලා. ඒ පාර තමයි එයාගේ මිනිය ඉස්පිරිතාලේ පාරේ දාලා ගියේ. ඊට කලින් මල්කාන්තිගේ ඇඳුම්වල ලේ තැවරී තිබුණු නිසා ඒ ගෙදර හිටිය මිනිහගේ ගෑනිගේ ඇඳුම් මල්කාන්තිට ඇන්දුවා.” ප්‍රධාන සැකකරු නිලධාරීන් ඉදිරියේ කීවේය.

තම පුතු කළ නොහොබිනා වැඩක් නිසා අහිංසක මවකට සිය ජීවිතය අහිමි වූ ආකාරය මෙසේ හෙළිවෙද්දී අධිකරණයට ඉදිරිපත් කෙරුණු සම්පත් ඇතුළු සගයන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් නියම කරන ලදී.

කීර්ති මෙන්ඩිස්

මෙන්න බලන්න තවත් පුවත්