කෝටිපති ව්‍යාපාරික මාමා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයට යටවීමෙන් වයස අවුරුදු එකහමාරක දැරියක් මියගොස් ඇති බව කොහුවල පොලීසිය පැවසීය.මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කොහුවල කලුබෝවිල පී. රූබන් පීරිස් මාවතේ පදිංචිව සිටි සුවයිරා මොහොමඩ් මුස්තාක් නම් දැරියකි.

මෝටර් රථය පැදවූ දැරියගේ මවගේ සහෝදරයා වන 28 හැවිරිදි කෝටිපති ව්‍යාපාරික සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු ඊයේ (16) දහවල් ආගමික වතාවත්වල යෙදීම සඳහා නිවසින් පිටවීයාමට සූදානම් ව මෝටර් රථය නිවස ඉදිරිපිට ගරාජයෙන් පිටතට ගැනීමේ දී මෝටර් රථයේ ඉදිරිපසට පැමිණි දැරියව බෆරයට සහ පොළවට තෙරපීමෙන් අනතුර සිදුවී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණි.

අනතුර සියැසින් දුටු නිවසට පැමිණ යතුරුපැදියකින් පිටවීමට ගිය පුද්ගලයෙකු ඒ බව සැකකාර රියදුරුට දැනුම්දීමත් සමග ඔහු මෝටර් රථය ආපස්සට ගෙන ඇති අතර නැවතත් දැරියව මෝටර් රථයේ බෆරයට සහ පොළොව අතර තෙරපී ඇතැයි පොලීසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ නිවැසියන් දැරියව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව අද (17) අලුයම ඇය මියගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය.

අනතුර සිදුවන ආකාරය නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරාවේ මනාව සටහන්ව ඇතැයි ද පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.අනතුර සිදුවූ ස්ථානයේ කිසිදු ලේ පැල්ලමක් දක්නට නැතැයි පොලීසිය කියයි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය මූලික පරීක්ෂණ සිදුකර මෝටර් රථය පොලිස් බාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.

පැරණි පුවත් – උඩුගුවනේ දී රෝගී වූ කතක බේරාගත් ලාංකික වෛද්‍යවරිය

මෙල්බර්න් නුවර සිට කොළඹ දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයකදී අසනීප වූ වයෝවෘද්ධ කාන්තාවකට හදිසි ප්‍රතිකාර ලබා දී ජීවිතය ආරක්ෂා කර දීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් වන මනෝරි ගමගේ මහත්මිය ඉකුත් දා සමත්වූවාය.

කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන ඇය ප්‍රතිකාර ලබාදී බේරාගෙන ඇත්තේ ද ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 85 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය විදෙස්ගතව සිටින දරුවන් බැලීමට ගොස් තෙමසකට පමණ පසු නැවත පැමිණෙමින් සිට ඇත.

එම කාන්තාව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානාවකින් මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිය දී හුස්ම ගැනීමේ අපහසුතාවයකට ලක්ව ඇති අතර, වෛද්‍යවරයෙකු හෝ වෛද්‍යමය ආධාර දිය හැකි අයකු සිටී නම් දැනුම් දෙන ලෙස ගුවන් යානා කාර්ය මණ්ඩලය නිවේදනය කර ඇත.

එම අවස්ථාවේ මනෝරි ගමගේ මහත්මිය මෙන්ම ඕස්ටේ්‍රලියාවේ හෙදියක ලෙස සේවය කරන ලාංකික කාන්තාවක් ද ඉදිරිපත් වී තිබේ.

රෝගී කාන්තාව සතුව තිබී ඇත්තේ සැල්බියුටමෝල් වර්ගයේ ඉන්හේලරයක් පමණක් වන අතර, වෙද නලාව හා රුධිර පීඩනය පරීක්‍ෂා කරන උපකරණයක් පමණක් ඇතිව සිටි වෛද්‍යවරිය ගුවන් මගියකුගේ පහසුකම් සහිත ඔරලෝසුවක් භාවිතයෙන් ඇගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැන, ගුවන්යානයෙන් ඉල්ලාගත් ඔක්සිජන් සිලින්ඩරයකින්, ඔක්සිජන්ද, මගීන් සතුව තිබී ලබාගත් ඇස්ප්‍රීන්, හා ප්‍රෙඩ්නිසොලෝන් ඖෂධය සහිත කුඩා දරුවෙකුට ලබාදෙන සිරප් ආදී ඖෂධ ද ලබාදෙමින්, කටුනායක ගුවන්තොටුපල දක්වාම ඇය නිරුපද්‍රිතව රැගෙනඒමට සමත්වී ඇත.

වෛද්‍යවරිය මේ සම්බන්ධයෙන් සිය මුහුණු පොතෙහි ද සටහනක් තබා තිබිණි.

විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ මහත්මිය අප කළ විමසීමකදී පැවසුවේ තමන් ජනවාරි මසදී මෙම අවස්ථාවට මුහුණ දුන් බවත්, ගුවන් ගමන ඇරඹී විනාඩි 45කට පමණ පසු එම කාන්තාව රෝගී වූ බවත්ය.

ගුවන්යානයකදී මගියකු අසනීප වූ විට එහි ගමන් කරමින් සිටින වෛද්‍යවරුන්ගේ සහය ලබාදීම සාමාන්‍ය දෙයක් වුවත් අඩි දසදහස් ගණනක් ඉහළ අහසක තනිව ගමන් කරමින් සිටියදී රෝගී වූ ඇගේ තොරතුරු විමසීමෙන් පසු, දරුවන් විදේශගතවීම නිසා ඉදිරියේදී මෙරට දෙමාපියන් මුහුණදිය හැකි තත්වය ගැන කම්පාවෙන් ඒ ගැන මුහුණු පොතෙහි සටහන් කළ බව ඇය කීවාය.

ඇය සිටියේ ඉතා අවදානම් තත්වයක නිසා යානය පර්ත් නුවරට ගොඩබැස්සවීමට පවා ගුවන්යානයේ කපිතාන්වරයා සමඟ සාකච්ඡා කරමින් ගිය බව වෛද්‍ය මනෝරි ගමගේ මහත්මිය පැවසුවාය.

නමුත් ලබාදුන් ප්‍රතිකාර හමුවේ ඇගේ හුස්ම ගැනීමේ අපහසුතාව තරමක් මගහැරී ගිය නිසා කටුනායක දක්වාම යානය පැමිණි බවත්, ඒ අතරතුර රෝගී කාන්තාව තමන්ගේ විස්තර ද පැවසූ බවත් වෛද්‍යවරිය කීවාය.

වෛද්‍යවරිය පැවසූ අන්දමට එම කාන්තාගේ දරුවන් තිදෙනාගෙන් එක් අයෙක් එංගලන්තයේත්, අනෙක් දෙදෙනා ඕස්ට්‍රලෙියාවේත් පදිංචිව සිටින අතර, ඇය දරුවන් බලන්නට ගොස් මාස 3කට පසු ලංකාවට පැමිණෙමින් සිට ඇත.

අවුරුදු 85ක් වූ මෙම මව දරුවන් බලා ආපසු එන අතරතුර අසරණ වු අන්දමට ඉදිරි අනාගතයේදී දෙමාපියන් බහුතරයක් අසරණ විය හැකි බව කී වෛද්‍යවරිය දරුවන්ට දෙමාපියන් දමා විදේශගත වන්නට සිදුව ඇත්තේ, නිසි වැටුපක් නොලැබීම, ලැබෙන වැටුපටත් බදු ගැසීම ආදී ගැටලු නිසා බව ද කීවාය.

දරුවන් දෙමාපියන් රැකබලා ගැනීමට ලංකාවේ රැඳිය යුතුයැයි තමා කිසිසේත් නොසිතන නමුත් දරුවන් විදේශ ගතවූ පසු ඔවුන්ගේ මවුපියන්ට සේවා ලබාදිය හැකි සක්‍රිය හා සංවිධානාත්මක ක්‍රමවේදයක් ඇරඹීමට කාලය එළඹ ඇති බව ද ඇය සඳහන් කළාය.

මෙන්න බලන්න තවත් පුවත්