මාවීඇල මොරගනේ ප්‍රදේශයේ පිහිටි සමගි ජන බලවේගය කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයට ආරාධනා නොකළැයි කියමින් කඩුවක්ද රැගෙන එම ස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු එහි සිටි තිදෙනකුට කඩුවෙන් පහරදීම නිසා ඔවුන් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කුලියාපිටිය කටුපොත පොලිසිය පවසයි.

කඩුවෙන් කෙටු බව කියන මීගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයක් විවෘත කර ඇති බව දැනගත් මෙම පුද්ගලයා එම කාර්යාලය පිහිටි ස්ථානයට කඩුවක් ද අතැතිව කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.

පක්ෂ කාර්යාලය විවෘත කරන බව තමාට කිව්වේ නැත්තේ මන්දැයි කියා විමසමින් එම පුද්ගලයා එතන සිටි අය සමග ආරවුලක් ඇති කරගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පැරණි පුවත් – මාළු ‍වෙළෙඳාමේ යන ගමන් නිවසකින් පිට්ටු කෑමට ගිය සංචාරක මාළු ‍වෙළෙන්දෙකුට බර පාඩුවක් සිදුවූ පුවතක් අක්කරෙයිපත්තුව මාර්ගයට සම්බන්ධ ඇළ ඉවුරක් සහිත ප්‍රදේශයකින් වාර්තා වේ.

සිද්ධිය සියැසින් දුටුවෙකු පැවසූ පරිදි එය ‍මෙසේ සිදුවී ඇත.

දිනපතා අක්කරෙයිපත්තුව ධීවර ‍තොටුපලකින් මුහුදුමාළු මිලදී ගන්නා ඔහු එම මාළු තම යතුරු පැදියේ තබාගෙන අම්පාර ප්‍ර‍දේශයේ සංචාරය කරමින් අලෙවි කරන අයෙකි.

ඉකුත්දා උදෑසන සිරිත් පරිදි අක්කරෙයිපත්තුව සිට ඔහු මාළු රැගෙන එන අතර තුර ඇළ ඉවුරේ සිටි හිතවත් කාන්තාවක් මුණ ගැසී‍මෙන් පසුව නැවතී ඇය සමඟ කතාබස් කර ඇත. සැමියකු නැති ඇය තරමක් රූමත් කාන්තාවකි.

එහිදී තමා පිට්ටු තම්බා ඇති බැවින් පිට්ටු කෑල්ලක් කෑමට නිවසට එන ලෙස ඇය ඔහුට ඇරියුම් කර ඇත. ‘ෂරි ෂරි නල්ලම්‘ යැයි පැවසු ඔහු ඇයගේ ආරාධනය සතුටින් පිළි‍ගත්තේය.

එම ස්ථානයේ ඇළ ඉවුර තරමක් පටු වූ බැවින් ට්‍රැක්ටර් වැනි වාහන ධාවනය වන නිසා මාළු ‍පෙට්ටිය බැඳි යතුරු පැදිය තරමක් නුදුරින් තිබුණ ලඳු කැලෑවක් අසල නතරකොට ඔහු නිවසට රිංගා ඇති බව කියති.

ඉන් පසුව කාන්තාව විසින් පිසින ලද පිට්ටු කෑමට දිගු කාලයක් ගත වු‍ණේ නොදැනුවත්වමය. පිට්ටුකා සප්පායම් වූ මාළු වෙළෙන්දා කාන්තාවගෙන් සමු‍ගෙන යතුරු පැදිය නවතා තිබුණ ස්ථානය ‍වෙත එමින් සිටිය දී කපුටන් සිය ගණනක් කෑ ගසමින් එතැන ගැවසෙනු දැක ඔහු ‘ෂෝ….ෂෝ… ‘ගාමින් උන් එළවද්දී මාළු පෙට්ටිය බැඳ තිබුණ යතුරු පැදිය ද පෙරළුණි. එතැන සිටියේ කිඹුලෙකුට සමාන දැවැන්ත කබර ගො‍යෙකි. කිසියම් හෙයකින් කබරයා මාළු පෙට්ටියට ‍ගොඩ වෙද්දී යතුරු පැදිය පෙරළී ඇත. ඒ වනවිට කපුටු රංචුව මාළු ‍පෙට්ටි‍යේ තිබුණ සාලයින් හුරුල්ලන් සහ බෝල්ලන් වැනි කුඩා මාළු කා දැමීමෙන් රුපියල් දහස් ගණනක අලාභයක් සිදු කර තිබිණි.

එ‍හෙත් මාළුන් රස වැටුණ කබරගොයා පන්නා දැමීමට මාළු වෙළෙන්දාට දැඩි ‍වෙහෙසක් දැරීමට සිදුවූ බව සිද්ධිය දුටුවෙක් වැඩි දුරටත් පැවසීය.

කාන්තාවගේ නිවසට ගොස් එතැනට පැමිණීමට ප්‍රමාදවූ හේතුව විමසූවිට මාළු වෙළෙන්දා පවසා ඇත්තේ ණය මුදලක් ලබා ගැනීමට ගොස් ප්‍රමා ද වූ බවත් මේ ගැන කිසිවෙකුට හෝ නොපවසන ලෙසත්ය.

මෙන්න බලන්න තවත් පුවත්