
ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය මාධවී වත්සලා ඇන්තනී කියන්නෙ සමාජ මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය චරිතයක්.
පසුගිය සමයේ ඇය ගැන ලොකු කතාබහක් ආයෙම ඇතිවුණේ ඇය ‘දික්කසාද වුණා’ කියන ප්‍රවෘත්තියත් එක්ක.
මේ ගැන ඇය කිසිදු සඳහනක් නොකළ අතර, පළමු වරට මුද්‍රිත මාධ්‍ය හමුවේ පසුගිය දිනෙක ඇය මේ කතාව ‘සත්‍ය’ බව තහවුරු කරමින් කියා තිබුණා.
මාධවී බාධක අභියෝග එන්නෙ එක පිට එක, 2023 පටන් ගන්නෙම අභියෝග එක්ක ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ ?
කාලයක් නිහඬව හිටපු මම හිතුවා ඒ නිහඬ බව බිඳින්න ඕනෙ කියලා. ජීවිතේ කියන්නෙම ඒ බාධක අභියෝග වලට මුහුණදෙන එක කියලයි මම හිතන්නෙ. ඒක කාටත් පොදු ධර්මතාවයක්. එක එක්කෙනාට ලැබෙන අහියෝග වගේම ඒවාට මුහුණදෙන අවස්තාවෙදි මනස ක්‍රියා කරන විදිහත්, ප්‍රතිචාර දක්වන විදිහත්, අපේ ලැබීම් නොලැබීම් දෛවය, ඒ සඳහා අපි ජීවත් වෙන පරිසරය වටපිටාව සහ අපි වටේ ඉන්න අනෙක් මිනිස්සු කව්ද කොහොම අයද කියන එකත්, භෞතික අභෞතික සම්පත් මතත් කාගෙත් ජීවිතේ තීරණය වෙනවානේ. ඉතිං මේක අතෑරලා දාන එක හෝ නිශ්ක්‍රීය වෙලා සමාජයේ වපර ඇස් වලින් හැංගිලා ඉන්න එක වඩා ලේසියි කියල හිතෙන වාර අනන්තව තිබුණා වුනත්, එහෙම නොකර හුස්ම අල්ලන් බලාපොරොත්තු දල්වාගෙන සටන් කරන්න හිතන එකටයි ජීවත් වෙනවා කියන්නෙ. 2023 මට මගෙ ජීවිතේ කිසිදාක නැති තරම් හැලහැප්පීම් කඩාවැටීම් වලට මූණදීපු වසරක්. කතාවටත් කියනවනෙ අඩියටම වැටුනාට පස්සෙ ආයෙ වැටෙයි කියලා බය වෙන්න දෙයක් නෑ කියලා. දශක තුනකට වඩා ජීවිත අත්දැකීම් වළින් තේරුම් අරන් ඉන්නෙ සතුට වගේම දුකත් හැමදාම එක වගේ පවතින්නෙ නෑ. සැප දුක, ලාභ අලාභ,නින්දා ප්‍රශංසා, යස අයස කාට වුනත් මේ තියෙනවා මේ නැති වෙනවා ආයෙ එනවා. ඉතිං මං බයත් නෑ. අතෑරලා බෑ.
මේ වෙද්දි නිර්මාණ කිහිපයකින් ප්‍රේක්ෂකයන් අතරට එනවා, ඒ නිර්මාණ ගැන කිව්වොත් ?
මේ දිනවල තුශාරි අබේසේකර අධ්‍යක්ෂණය කරන චන්දෝලි ටෙලිනාට්‍ය සිරස ටීවී ඔස්සේ හැම සතියේ දවසකම රාත්‍රී 7.30ට විකාශනය වෙනවා. එහි ලන්නි කියන චරිතයයි මම නිරූපණය කරන්නෙ.
ඊට අමතරව කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් රචනා කර රූප රචනා අධ්‍යක්ෂණය කළ, මගේ ස්වතන්ත්‍ර ගීතය “අපි තමයි අපිව දන්නේ” ගීතය මගෙ යූටියුබ් නාලිකාවෙ සහ රූපවාහිනී, ගුවන්විදුලි මාධ්‍ය වල ප්‍රචාරය වෙනවා.
කොහොමද ලැබෙන ප්‍රතිචාර ?
චන්දෝලි වෙත හුඟක් ප්රසාදණීය ප්‍රතිචාර ලැබෙනවා. මගෙන් අලුත් ගීත නිර්මාණ බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒ වගේම මගෙ යූටියුබ් නාලිකාව එක්ක එකතු වෙලා ඉන්න ලක්ශයකට වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය මම යළිත් යූටියුබ් අවකාශයේ ක්‍රියාශීලි වෙයි කියන බලාපොරොත්තුවෙන් මට පණිවිඩ එවනවා. ඉදිරියේදී ආපහු ඒ වැඩෙත් නව මුහුණුවරකින් අරඹන්න හිතන් ඉන්නවා.
තව ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද ?
මං හිතනවා අවුරුදු 20-25දි හිතපු විදිහට මං දැනුත් හිතුවොත් ඒක වැරදියි කියලා. කාලානුරූපීව ඉලක්ක වෙනස් වෙන්න ඕනෙ. දැන්වත් කාලය දෙන්න ඕනෙ ජීවිතේ පිළිවෙල කරගෙන, මෙතෙක් ඉටු කරගන්න බැරි වුනු අරමුණු සාක්ශාත් කරන් මම සාර්ථකයි කියලා මට හිතෙන තැනට කටයුතු කරන්න. ඒ ආත්ම තෘප්තිය වෙනුවෙන් වැඩි වැඩියෙන් සංගීතය සමරන්න මම ආසයි. මගෙ අලුත්ම ගීතය ඉදිරි මාස දෙක තුන ඇතුළත එළිදකීවි. කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ පදරචනය සහ තුසිත් සිම්සන් සංගීතය සමග මගෙ හඬ මුසු වෙලා ගැයෙන මේ ගීයට අපූරු සිනමා ගෙත්තමක් කරන්නත් කසුන් මහේන්ද්‍ර හීනටිගල සූදානමින් ඉන්නවා. මේ වගේ කාලෙක අලුත් නිර්මාණ කාර්යක් කරනවා කියන්නෙ ඉතාම අසීරු කාර්යයක්. ඒත් අපි නොපසුබටව ඒ අඩිය තියන්න හිතුවේ මගෙ දීර්ඝ සංගීතමය නිහඬබව බිඳින්න ඒක හොඳ නිමිත්තක් නිසායි.
මේ වසරේ ඔබව සිනමාවෙන් දකින්න පුළුවන් ද ?
සිනමාවෙන් මාව දකින්න පුළුවන් වේවි නිසි කාලයේදි. ඒ වගේම සිනමාවෙන් සහ ටෙලිනාට්‍ය පසුබිම් ගායනයෙන් මාව ඔබට ඇසේවි. මගේ අප්පච්චි ජැක්සන් ඇන්තනීගේ අධ්‍යක්ෂණයෙන් නිමැවුනු “එක ගෙයි සොකරි” සහ “දේවී සම්බුලා” චිත්‍රපට දෙකෙහි ම පසුබිම් ගායනා මගෙ හඬින් ගැයුනේ. අප්පච්චි සුව වූ වහාම ඒ චිත්‍රපට ඔබ වෙත ඒවි.
ඇන්තනී නම ත් එක්ක ජැක්සන් ඇන්තනී අමතක කරන්න ම බැහැ , මේ වෙද්දි අප්පච්චි ගෙ තත්ත්වය කොහොමද ?
අප්පච්චිව අමතක කරලා අපිට ගමනක් නෑ. ඒ අපේ මුදුන්මල්කඩ. අපේ කැණිමඬල. අප්පච්චි පසුගිය ජූලි මාසයේ 2වෙනිදා නොසිතූ අනතුරකට ලක් වෙලා සැත්කමකට ලක් වෙලා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා. අති දක්ශ වෛද්‍යවරුන් අතින් සිදු කෙරුණු සැත්කම ඉතාම සාර්ථක වුනා. අප්පච්චි අපි එක්ක කතා කළා. විහිලු කළා. නොනවත්වා සිංදු කියවගත්තා. අපි බලන්න ගිය වෙලාවට මට ඔලුව අතගාන්න කිව්වා. අත් කකුල් මිරිකන්න කිව්වා. මෙහෙම ඉඳපු අප්පච්චිට ජූලි මාසෙ අග දවසක දවාලේ රෝහලේදී තවත් අනපේක්ෂිත හදිසි තත්වයක් වුනා. ඒ සිට මේ දක්වා අප්පච්චි ඉතා සෙමෙන් වුවත් සාර්ථක ලෙස සුව වෙමින් සිටිනවා කියලා මම විශ්වාස කරනවා. රෝහල් කාර්ය මණ්ඩලය ඉතාම ආදරෙන් අප්පච්චිව බලාගන්නවා. අප්පච්චි වෙනුවෙන් ලෝකයේ හැමතැනම ඉඳන් ආදරණීයයන් දිනපතා බාර හාර පුද පූජා කරමින් ආශිර්වාදය එක් කරනවා. අප්පච්චි ඇවිත් මේ අත්දැකීම් එයාගෙම අදහසින් ලියා පළ කරන ඒ දවස එනකන් බලන් ඉන්නවා.
සමහර ප්‍රශ්න හමුවේ, අප්පච්චි ළග නැතිවීම කොයි තරම් හිතට දැනුනද?
අප්පච්චි මගෙ යාලුවා. අප්පච්චි එක්කයි මම මගෙ හැම ප්‍රශ්නයක්ම හැඟීමක් ම බෙදාගත්තෙ. මෑතකදී අසනීප වුනාම රෝහලට ගියෙත් අප්පච්චි එක්ක. එයා කන්න ආසම මම උයන කෑම. අප්පච්චි මට දුන්නු අගය නිවාස දේපළ යාන වාහන මිල මුදල් නෙවෙයි. ඒ දේවල් ලොකු ලොකු දායාද මට ඇත්තෙම නෑ. හැබැයි මට අප්පච්චි තලෙන්තු හුඟක් දුන්නා. කවුරුහරි ඇහුවොත් මට පෙන්නන්න තියෙන වස්තුව තමයි ඒ හැකියාවන්. සාමාන්‍යයෙන් ළමයින්ට දෙමාපියන්ගෙන් ලැබෙන ආරක්ෂාව අපිට ඒ විදිහටම ලැබෙන්නේ නෑ අම්මා අප්පච්චි ගොඩක් කාර්යබහුලය වීම නිසා. අප්පච්චි අපට කුඩා කාලෙම ඒ බව කිව්වා. අපි අපිම පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනෙ කියලා. අපේ අම්මට මා එක්ක කැපවෙන්න වෙලාව නැති නිසා හය හත වසර වෙනකන් මං හැදුනේ අත්තම්මා ලඟ. මගෙ 2 වසර පන්ති භාර ගුරුතුමී මාව හදාගන්නත් ඉල්ලුවා. විශේෂයෙන් මම එකම ගැහැනු දරුවා විදිහට ඒ වෙනස වහගන්න පුරුදු වුනේ මම නිතර දැකපු මල්ලිලා වගේ වෙන්න. කොල්ලෙක් වගේ හැසිරෙන්න. ඒක මට පළිහක් කරගන්න මම උත්සාහ කළා. ඒත් ඒ හැසිරීමෙන් මම මට සිදු කරගත් වරද මට දැන් වැටහෙනවා. L බෝඩ් ගහන්නෙ නැතුව පාරට දාපු වාහන වගේ වුනා. අපි ඉගෙන ගත්තෙ නිදහස් අධ්‍යාපනයෙන්. අප්පච්චිපට ඉන්න පර්චස් දහයක පොඩියට ගෙයක් හදාගත්තෙත් 2005 දියි. එතකල් අපට හරියට ඉන්න තැනක් තිබ්බෙත් නෑ. අම්මගෙ රැකියාව නිසයි මුල් කාලෙ අපේ පවුල නඩත්තු වුනේ. ඒක වෙන්න ඇති එයා ඒක අතාරින්න අකමැති වුනේ. අද මගෙ පෞරුෂය තීරණය වෙන්න කුඩාකාලෙ මගෙ අත්දැකීම් හේතු වෙන්න ඇති. කෙසේවෙතත් අප්පච්චිට ඒ අනතුර වෙන්න කාලෙකට කළිං සිට මං මුහුණපා සිටි විවිධ ජීවිත අපහසුතා ගැන එයාට දැනුම්දීලයි තිබුණෙ. එයා මට හයියක් වුනා. “මොනවා කරන්නද පුතා ඔහොම ඉන්න බෑනෙ. කෙනෙකුට එක වතාවකට වඩාත් වරදින්න පුළුවන්. අපි ජීවිතේ හදාගමු” ඒ අප්පච්චිගෙ වචන. ඒත් එයා නිහඬ වුනාට පස්සෙ මම තනි වුනා. මොකද තනි මගෙන් අවස්තාවාදී අයට ලැබෙන වාසියක් නැති නිසා වෙන්න ඇති. මට සැනසීමෙන් ඉන්න හිටින්න පවා තැනක් නැති වුනා. ඒත් මේ යුගයේදීම තමයි මට ජීවිතේ තමකම් දන්න, විශ්වාසවන්ත, ආදරණීයම මිනිස්සු කව්ද කියලා හඳුනගන්නත් පුළුවන් වුනේ. මං හිතන්නෙ අප්පච්චි නොදැනුවත්ව හෝ මේ කළේ මාව ශක්තිමත් කරපු එක. මම සම්පූර්ණයෙන් අප්පච්චි මත පදනම්ව ජීවිතේ තීරණ ගන්න පුරුදු වෙලා හිටපු කෙනෙක්. එයාගෙන් විවරණ නොගෙන මට කිසි දෙයක් හරියට කරගන්න බෑ වගේ අදහසක් මා තුළ තිබ්බා. ඒත් පහුගිය කාලෙදි මට ස්වාධීනව මගෙ මාර්ගය හොයාගන්නත්, ස්වශක්තියෙන් නැගිටින්නත් සිද්ද වුනා. ආයෙ අප්පච්චි කතා කරන දවස වෙද්දි මම හිටියට වඩා දස දහස් ගුණයක් ශක්තිමත් ගැහැණියක්. මම දැන් බය නෑ. අප්පච්චිට එහෙම දෙයක් වෙච්ච එක දරාගත්තු මට වෙන ඕන දෙයක් දරාගන්න දැන් පුළුවන්.
ජීවිතේ බැදීම්, ආදරේ වගේ දේවල් ගැන මාධවී ට දැනෙන්නෙ කොහොමද?
ආදරේ කියන්නෙ කිසි කෙනෙකුට නිර්වචනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලයි මම හිතන්නෙ. ඒක ගැහැණියක් පිරිමියෙක් අතර ඇතිවෙන සරළ හැඟීමක් ලෙස මම සීමා කරන්න කැමතිත් නෑ. මට අනුව ආදරේ නම් හේතුවක් නැතුව අපිට ඇස් දිහා බලලා සුහදව හිනා වෙන්න පුළුවන් වෙන්න ඕනෙ. පුංචි බබාලා එක්ක අපි හිනා වෙන්නෙ ඒ වගේ. තරහෙන් හිටියත් කරුණාව උපදින්න ඕනෙ. ප්‍රේමය ගැන මං දන්නා හොඳම පැහැදිලිකිරීම තමයි ශුද්ධ බයිබලයේ, කොරින්ති 13 කොටස. “ප්‍රේමය සියල්ල උසුලයි, ප්‍රේමයේ විශ්වාසයට ඉමක් නැත. බලාපොරොත්තුවට නිමක් නැත. ඉවසීමට අගක් නැත. ප්‍රේමය සදාතනික ය. මම බාලයෙක්ව සිටිය කල බාලයෙකු මෙන් කථාකෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බාලයෙකු මෙන් කල්පනාකෙළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටිමි. දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයයි” ඔච්චරයි. සමාජයේ බැඳීම් නැතුව මට නම් තනියෙන් ජීවත් වෙන්න බෑ. මෑතකදී මට තිබුණු බැඳීම් අඩු වුනා. ඉස්සර මම කවුරු මට කොහොම සැලකුවත් ඉවසාගෙන හැමෝගෙම උවමනා හොයාබලා හොඳින් උදව් කරගෙන කැප වෙලා හිටියා. ඒත් ඒ අය මාව අවභාවිතා කරපු නිසාත්, මට උදව් ඕනෙ වෙලාවෙදි පිටුපාපු නිසාත්, මම එවැන්නන්ට වෙනස් වෙන්න තීරණය කළා. මගෙ කවය කුඩා වුනා. ඒත් ඒ ඉන්න ටික දෙනා මට ජීවිතය තරම් වටිනවා. මම පුළුවන් තරම් ජීවිතේ සුබවාදීව දකින්න උත්සාහ කරනවා.
මාධවී නැවත දික්කසාද වීමක් ගැන පැතිරෙනව, ඒක ට ප්‍රතිචාරයක් දක්වන්න කැමති ද?
මම කැමති වුනත් අකැමති වුනත් ඇත්ත සැඟවීමෙන් පළක් නෑ නේ. මොකද අපි අමරණීය නෑ. ජීවිතේ කල් ඉකුත් වෙන කොටස් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරලා බැරි නම්, නොපමාව තීරණ ගත යුතුයි. ජීවිතේ අස්වද්දන්න උත්සාහ ගන්න ඕන. ඔව් විවිධාකාර මත ගැටුම්, නොගැලපීම්, නොරිස්සුම් සහ හිත් රිදුම් අවසානයේදී නීතියෙන් වෙන් වෙන්න තීරණය කළා. අපි දෙන්නම මුල සිටම මේ නොගැලපීම් නිසා බොහෝ චිත්ත පීඩා වින්දා. දැන් අපි නිදහස්. මෙහෙම වෙච්ච පළමු කෙනාවත් අවසාන කෙනා වත් මම නොවන බව නොරහසක්. සර්වකාලීන සත්‍යයක්. කව්රුත් හිතාමතා එහෙම කරදර දාගන්නෙ නෑනෙ. අනික වණේ නැතුව දුක නොදන්න අය මිසක් කව්රුත් මේ වගේ දෙයක් විහිලුවකට ගන්නෙවත් විනිශ්චය කරලා ලේබල් ගහන්නෙවත් නෑ. කෙසේවෙතත් මම ඔහුට සුබ පතනවා.
ජනප්‍රිය වීම නිසාම සමහර ප්‍රශ්න කටකතා ගොසිප් නිර්මාණය වෙනවා වැඩියි , ඒ ගැන මොකද හිතෙන්නෙ?
රසික ආදරේ, ඇගයීම්, තෑගිබෝග ලබද්දි ලබන සතුටට සම්පූර්ණයෙන් විරුද්ධ හැඟීමක් එතකොට දැනෙනවා. හැබැයි දැන් ඒක අලුත් නෑ. මම ජනප්‍රියද කියන එක තීරණය කරන්නෙ මම නෙවෙයි, මගෙ රසිකයන්. හැබැයි එහෙම ජනප්‍රිය වුනා කියලාත් අපිට වෙන දේවල් ඒ අයට වෙන්නෙ නැද්ද? අපටත් ඒ වගේම දුක හිතෙනවා. රිදෙනවා. ඒත් අපට සාපේක්ෂව ඒ අයගෙ ජීවිත ගැන හොයන්න උනන්දු වෙන පිරිස අඩුයි. අපි ගැන අපිවත් නොදන්න ඕපාදූප ගොසිප් වල තියෙනවා. අනික රසික ප්‍රජාව හැමෝම ඒවා පිළිගන්න තරම් මෝඩ නෑ. දැන් ඔවුන් බහුතරය දූපතෙන් එහා ලෝකය දැකලා හරිම බුද්ධිමත්. තවත් මම දැකපු දෙයක්; මම ජරාවාසව, දුක්මුසු ඡායාරූපයක් පළ කරනවාට වඩා සතුටින්, සුන්දරව ඉන්නා එකක් පළ කළාම විවේචනයට ලක් වෙනවා වැඩියි. ඒකෙන් එවැන්නන්ගේ චෛතසිකය ගැන හුඟක් දේ කියවෙනවා. කොහොමත් කොච්චර යහපත කළත් එක වරදක් කළොත් ඒක විතරයි සමහර අයට මතක. විශේෂයෙන් මම වෘත්තීයව යෙදවී ඉන්න ක්ශේත්‍රයේ “කාන්තාව” බොහෝවිට වපර ඇස් වලට ලක් වෙනවා වැඩියි. මගෙ සහෝදරයන් ඔවුන්ගේ අඹු දරුවන් සමඟ හෝ තනිව විනෝදාංශ අතරතුර හෝ විනෝද ගමන් ගිහින් පිංතූර පළ කරද්දි සතුට පළ කරන සමහර රසිකයන්ට මම එසේ කළොත් කේන්ති යනවා. සමහර විට ඔවුන් මගේ කතාව සම්පූර්ණයෙන් දැනගෙන හිටියා නම් මේ තරම් නිර්ධය නොවන්නට ඉඩ තිබුණා. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේදි මම කෙලින් කතා කරන කෙනෙක්. නමුත් එයින් බොහෝ දෙනාගේ පුද්ගලිකත්වය නිරාවරණය වෙලා ඔවුන් ලෝකය ඉදිරියේ ගොඩනගාගෙන තියෙන ප්රතිරූප හානි වෙන නිසා මට එහෙම කරන්න බෑ. ඉතිං මම මුණිවත රකින්න අදහස් කරනවා. අනික බහුතරයක් නරක කොමෙන්ට් දාන ගිණුම් බොරු ඒවා. එළියට පෙන්නන චරිත නෙවෙයි හුඟක් අයගෙ ඇත්ත. අපි තේරුම්ගන්නෝනෙ අපට හැමෝවම සතුටු කරන්න බෑ කියලා. අනික දැන් ඉස්සර වගේ ඒවා නිකම්ම නිකං කැලෑ පත්තර නෙවෙයි. දැන් අන්තර්ජාලය නිසා ඕපාදූප වලටත් මිලක් තියෙනවා. මම නම් මගෙ ඒ වගේ හිත් රිදෙන අමූලික බොරු ගොසිප් දැක්කම හිතනවා මට මඩක් ගහලා කවුරුහරි අප්පච්චි කෙනෙක් තමුන්ගෙ දුවට පුතාට කෑම බීම බේත් හේත් අරන් දෙනවා ඇති කියලා.
ජීවිතේ ගැන ,ආ මග ගැන තෘප්තිමත් ද ?
නෑ. දශක තුනකට වඩා ආයු වළඳලාත් මම තවමත් පුංචි කාලෙ සෙල්ලම් බත් උයද්දි දැකපු කුටුම්භ හීනයවත් හැබෑ කරගෙන නෑ. මම හිතන්නෙ මම අධ්‍යාපන කටයුතු නිසා කලාවට යෙදවෙන්න කාලය නැති වුනා. කලා කටයුතු වලට යෙදවෙන්න කාලය වැය කළාම රැකියා අවස්තා වලට සමු දුන්නා. මේ විදිහට විවිධ ඇරියස් කවර් කරන්න හැල්මෙ දුවන අතරේ මට මගෙ ජීවිතේ මිස් වුනා. ජීවිතේ කෙටියි. අපි හිතන පරක්කුවට ගෙවිලා යනවා. මං ආසයි මං මැරෙන දවසක තනිකමක් නැතුව ගෙවන්න. එදාට මම ලෝකෙ හොඳම නිළිය වුනත්, දක්ශම ගායිකාව වුනත් පළක් නෑ මට තනිකමක් දැනෙනවා නම්. ඉතිං නෑ මම තෘප්තිමත් නෑ.
මොනවාද තියෙන අනාගත බලාපොරොත්තු?
මම පශ්චාත් උපාධියට හැදෑරුවේ සංචාරක ආර්ථික විද්‍යාව. කාලෙක සිට ව්‍යාපාර කටයුත්තකට අත ගහන්න ඉන්නවා. මම ආසයි මගේ ස්වතන්ත්‍ර ගීත ප්‍රසංගයක් කරන්න. පර්යේෂණ ග්රන්ථ කිහිපයක් මේ වෙනකොටත් මම ලියා අවසන්. ඒවා ප්රකාශනය කරන්න අදහස් කරනවා. හැකිනම් ආචාර්ය උපාධිය ලබාගන්නත් කැමතියි. හෙට අදට වඩා එළිය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ශක්තිමත් පවුල් ජීවිතයක් ගෙවන, ආදරණීය ගෘහයක් තනාගන්න, මව්වත් මවක් වෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අප්පච්චි පූර්ණ සුවය ලබන දවසක් වෙනකන් බලාගෙන ඉන්නවා.