
මත්පැන් පානය කරන අතරතුර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබේ.
මරණකරු වයස අවුරුදු 32ක් වූ රිල්හේන, පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා ඊයේ 11 සවස් කාලයේදී අතුරුදන් වී ඇති බවට එම පුද්ගලයාගේ පියා විසින් පැල්මඩුල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද සිදු කරනු ලැබ ඇති අතර මේ සම්බන්ධයෙන් පොලසිය සිදු කළ විමර්ශනයේදී ඝාතනය වූ පුද්ගලයා තව ත් පුද්ගලයෙකු සමග පෙබරවාරි 10 වන දා රාත්‍රී කාලයේදී ඔහුගේ නිවසේ මත්පැන් පානය කර ඇති බවට අනාවරණය වී ඇත.
එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අතර ආරවුලක් හට ගෙන ඇති අතර අතුරුදන් වූ බවට පැවසෙන පුද්ගලයාට බීමත්ව සිටි අනෙක් පුද්ගලයා විසින් පොල්ලකින් පහර දෙනු ලැබ තිබේ. පහර දීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 31ක් වූ රිල්හේන වත්ත, පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පහරදීමෙන් එම පුද්ගලයා මිය ගිය පසු ඔහුගේ සිරුර අසල ඇති කැලෑවකට ඇදගෙන ගොස් වළක් හාරා මෘත ශරීරය වළ දැමීමට උත්සහ දරා ඇති බව අනාවරනය වී තිබේ. මෘත ශරීරය සැකකරුගේ මග පෙන්වීම මත සොයා ගැනීමට හැකි වී තිබේ.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර සැකකරු සහ මරණකරු අතර තිබූ පැරණි අමනාපයක් මෙම ආරවුලට මුල් වී ඇති බවට දැනට සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
උපුටා ගැනීම – මව්බිම