කංසා (Cannabis sativa)

19 වන සියවසේ මත්ද්‍රව්‍ය යටතේ මෙය තහනම් කෙරුවද වර්තමානයේ එහි ඇති සායනික ගුණ හේතුවෙන්ම බොහෝ රටවල ඖෂධ සංග්‍රහයෙහි මෙම ශාකය ඇතුලත් කර ඇත. නෛතික සීමා කිරීම් වලට යටත්ව වෛද්‍යමය කංසා වගා ව්‍යාපෘති විවිධ රටවල් වලින් සිදුකරනු ලබයි.

කංසා නොහොත් ගංජා යන ශාකය විද්යාත්මකව හඳුන්වන්නේ කැනබීස්‌ සැටීවා යන නාමයෙනි

මෙම ශාකය ලොව බොහෝ රටවල ඖෂධයක්‌ ලෙස පමණක්‌ නොව වෙළෙඳ වටිනාකමකින් යුත් ශාකයක්‌ ලෙස වගා කරන බව සදහන් කල යුතුය.

2022 අංක 41 දරන විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනතෙහි නිර්වචනය අනුව කංසා යනු මෙම ශාකයේ මල් හෝ ඵල දරන මුදුන් කොටසයි. නමුත් ඖෂධ සඳහා භාවිතා කරනු ලබන්නේ කංසා පත්‍ර සහ බීජ වන අතර ඒවායෙහි මාදක සංඝටකය ඉතා සුළු ප්‍රමාණයක් පමණක් අන්තර්ගත වේ.

දේශීය වශයෙන් භාවිතයට ගැනෙන බොහෝ අභ්‍යන්තර ඖෂධ වල අමුද්‍රව්‍යයක් ලෙසත්, ඖෂධ ඇඹරීමට යොදා ගන්නා මාධ්‍යයක් ලෙසත්, තෛල සංස්කරණය සඳහාත් මෙම ශාකය භාවිතා කර ඇත. මෙහි ඇති ඉක්මනින් ක්‍රියා කිරීමේ හැකියාව නිසාවෙන්ම උග්‍ර හා තීව්‍ර රෝග තත්වයන්ට ප්‍රතිකාර කිරීමට මෙම ඖෂධ භාවිතා කර ඇත.

2022 හි Bhanga (Cannabis sativa L.) as an activity potentiator in Ayurvedic classics and Indian alchemy (Rasashastra): A critical review පර්‍යේෂණ පත්‍රිකාවෙහි දක්වා ඇති පරිදි මෙම ශාකය ආයුර්වේදානුකූලව දීපන, පාචන, රුචිකාරක, මාදක, ව්‍යවායි (ක්ෂණිකව ක්‍රියා කිරීමේ හැකියාව), ග්‍රාහී, මේධ්‍ය, රසායන ගුණ සහිතය. ජ්වර, අග්නිමාන්ද්‍ය, අජීර්ණ, ග්‍රහණි, අතීසාර, වාත රෝග, ශූල, හිසරදය, ක්ෂයරෝගය, ශ්වාස, කාස, ප්‍රමේහ, පාණ්ඩු, කුෂ්ඨ, ක්‍රිමිරෝග හා මානසික රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කර ඇත.

2012, The Therapeutic Potential of Cannabis and Cannabinoids පර්යේෂණයට අනුව Multiple sclerosis රෝග තත්වය නිසා ඇතිවන බොහෝ රෝග ලක්ෂණ වලට පිළියම් ලෙස මෙම ඖෂධය භාවිතා කළ හැකි අතර එය වේදනා නාශක, ස්නායු ආරක්ෂක, වමනනාශක, ප්‍රතිභ්‍රාස්‍ය (antispastic), ප්‍රතිප්‍රදාහාත්මක හා මනෝ ව්‍යාධිශාමක හැකියාවන්ගෙන් යුක්ත බව පෙන්වා දෙයි.

Hemp for health: The medicinal and nutritional uses of Cannabis sativa, 1997 ප්‍රකාශිත වාර්තාව අනුව මෙය ග්ලූකෝමා, අපස්මාරය, අනිද්‍රාව, හතිය, මිග්‍රේන තත්වයන්ට ප්‍රතිකාර ලෙසත් AIDS හෝ රසායනික චිකිත්සාව (Chemotherapy) නිසා ඇති වන ඔක්කාරය, අරුචිය වැනි රෝග පාලනයට ද භාවිතා කළ හැකිය.

උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය
සැකසුම – බිනාලි රාජපක්ෂ

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්