
පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පවත්වන බව මැතිවරණ කොමිසම අද යළි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබේ.
ඒ හේතුවෙන් පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට අවශ්‍ය නොවන බැවින් පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කෙරුණි.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු විසින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නේද නැද්ද යන්න වැඩිදුරටත් සලකා බැලීම ලබන 23 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මූලික විරෝධතාවක් ගොනු කරමින් ප්‍රකාශ කළේ, අදාළ පෙත්සම්කරු , පාර්ශව නිසියාකාරයෙන් පෙත්සමෙන් ඉදිරිපත් කර නොමැති බවයි.
එමෙන්ම පෙත්සම්කරු ශ්‍රී ලංකාවේ වලංගු ඡන්ද දායකයෙක් ද යන්න සනාථ කිරීමට අවශ්‍ය ලේඛන
ඉදිරිපත් කර නොමැති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන් අතර
එම පෙන්වාදීමෙන් පසු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ, අදාළ පෙත්සම විභාගයට ගැනීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙසයි.
මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ ප්‍රකාශ කළේ, රට ආර්ථික පීඩනයකට ලක්ව තිබෙන අවස්ථාවේ ඉතා අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් මුදල් වෙන්කරන ලෙස කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයෙන් පෙන්වා දී ඇති බවයි.
අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර කළේ, මෙම පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 23 වැනිදා දක්වා කල් තැබීමටයි.