
පොලිසිය අපරාධකරුවන් ලුහුබැඳ යන ආකාරය අප අසා දැක ඇත්තෙමු. එහෙත් පොලිසියෙන් මිදී මුහුද මැදට පලා යන අපරාධකරුවන් හෝ සැකකරුවන් ගැන අප අසා ඇත්තේ කලාතුරකිනි. ඉකුත් දා ගාලු පුරවරයෙන් වාර්තා වූයේ එවන් පුවතකි. දිනය පෙබරවාරි මස හත් වැනිදා ය. දෙනෝදාහක් ගැවසෙන ගාලු නගරයට එදින හොඳින් ඉර පායා තිබුණි. ගාලු බස් නැවතුම්පලේ බස් රථවලට නැග පොත්පත්, වඩේ, කඩල ආදිය විකුණන මිනිසුන් මෙන්ම නැති බැරිකම් කියා පාමින් ආධාර එකතු කළ යාචකයන්ගේද අඩුවක් තිබුණේ නැත. මේ අතර බස් රථයකට නැග කුඩා දරුවකුගේ අසනීපයක් ගැන කියමින් රෝගයට ආධාර පිණිස ටිකට් පත් විකුණමින් ගීත ගායනා කළ පුද්ගලයන් තිදෙනකු ගැන බස් රියදුරකුට සහ කොන්දොස්තරවරයෙකුට සැකයක් ඇතිවන්නේ ඔවුන්ගේ හැසිරීම් රටා සමගය.
මේ අනුව ඔවුන් මේ ගැන අසළ සිටි පොලිස් නිලධාරියෙකුට පැවසුවේ මොවුන් ගැන සොයා බලන ලෙස ඉල්ලීමක් කරමිනි. ඒ පොලිස් නිලධාරියා වූයේ ගාල්ල පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් 36334 ප්‍රියලාල් ය. ප්‍රියලාල් පොලිසියේ කා අතරේත් ප්‍රසිද්ධ දක්ෂ කාර්යශූර නිලධාරියෙකු ලෙසය. රියැදුරන් ප්‍රියලාල් පෙනෙන තෙක් මායිමක හෝ සිටියොත් වාහන හසුරුවන්නේ මහත් ප්‍රවේසමෙනි. බස් සේවකයන්ගේ කීමට සවන් දුන් පොලිස් සැරයන්වරයා මේ තිදෙනා ගැන අවධානය යොමුකරමින් ඔවුන් සිටි තැනට පිය නැගුවේය. ඒ අවස්ථාවේදී බස් රථය තුළ එක් අයෙකු ගී ගයමින් සිටි අතර අනෙක් දෙදෙනා ටිකට් විකුණමින් සිටියහ.ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ලැබුණු පිළිතුරු පරස්පර වීම නිසා එක් අයෙකු පොලිසියට රැගෙන යන්නට ප්‍රියලාල් තීරණය කළේය. ඒ ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ අරමුණ ඇතිවය.
එම අවස්ථාවේදී සැකකරු පොලිස් සැරයන්වරයාගෙන් මිදී බසයේ පිටුපස දොරින් පැන විදුලි වේගයෙන් දුවන්නට පටන් ගත්තේය. රථවාහන අතරින් රිංගා පලා යන්නට උත්සහ දරන සැකකරු පිටුපස පොලිස් නිලධාරියාද හඹා ගියේය. සැකකරු ගාල්ල නගරය හරහා රත්ගම වැල්ලට දිවගොස් එහි නවතා ඇති බෝට්ටු අතර සැඟවී බේරීමට උත්සහ කළේය. එය දුටු සැරයන්වරයා ඔහොම හිටු මාත් එක්ක දුවලා බේරෙන්ට ද බොල” කියමින් සැකකරු සිය ග්රහනයට ගැනීමට යත්න දැරීය. සැනෙකින් සැකකරු මුහුදු වැල්ලට පැන දුවන්නට පටන් ගත්තේ දෙනෝදාහක් බලා සිටියදීය. එහෙත් කිසිවකු නිලධාරියාගේ සහායට ඉදිරිපත් වූයේ නැත. සැකකරු උත්සහ කළේ මහ මුහුදින් පීනා ගොස් බේරී යන්නටය. කෙසේ වුවත් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නට මලල ශූරයෙකු වන ප්‍රියලාල් ඒ වනවිට තීරණය කර කර තිබුණි. සැකකරු අල්ලා ගැනීමට මෙන්ම ඔහුගේ ජීවිතය බේරා ගැනීමද සිය වගකීම බව දැන සිටි සැරයන්වරයා සැකකරු මෙල්ල කර ගොඩබිමට රැගෙන ආවේ දැඩි පරිශ්‍රමයක් දරමිනි.
මේ ත්‍රාසජනක අත්දැකීම ගැන දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණගේ අවසර මත අප පොලිස් සැරයන් 36334 ප්‍රියලාල් ගෙන් විමසා සිටියෙමු. මම ගාල්ල ට්‍රැෆික් එකේ වැඩ කරන්නේ. පෙරේදා උදේ රාජකාරියේ ඉන්න වෙලාවේ තමයි මේ සිදුවීම වුණේ.ඒ වෙලාවේදී බස් එකක ටිකට් විකුණමින්,සින්දු කියපු සැකසහිත පුද්ගලයන් තිදෙනෙක් හිටියා. ඒ අතරින් කෙනෙක් ප්‍රශ්න කරන්න ගෙන්නපු ගමන් එයා පැනලා ගියා. ඒ වෙලාවේදී මම කිලෝමීටර් දෙකක් විතර සැකකරු පිටුපසින් ගොඩබිමෙන් දිව ගියා. පස්සේ ඔහු රත්ගම වෙරළෙන් මුහුදට පැනලා මීටර් 75 ක් 100 ක් පමණ දුර පිහිනාගෙන ගියා. මමත් සැකකරු පිටුපසින්ම පිහිනුවා. මගේ සාක්කුවේ තිබුණු සටහන් පොත, ජංගම දුරකතනය වගේම මුදල් පසුම්බියත් තෙමුණා. මම සැකකරු අල්ලා ගත්තෙ අඩි අටක්, නවයක් වගේ ගැඹුරකදී. ඉතිං සැකකරුට තේරුම් කළා ඔයා ලොකු වරදක් කරලා නැහැ. නිකං මුහුද මැදට ගිහිං මැරෙන්නේ නැතුව එන්න කියලා. ඒ අනුව සැකකරුත් මාත් එක්ක එන්න පොරොන්දු වුණා. මම ඔහුව නිරුපද්‍රිතව ගොඩබිමට ගෙනත් පොලිසියට රැගෙන ගියා.
සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූයේ සැකකරු තම සහෝදරිය සහ ඇගේ ස්වාමි පුරුෂයා සමග ඇඹිලිපිටියේ සිට ගාල්ල ගොඩකන්ද ප්‍රදේශයට දින තුනකට පෙර පැමිණ තිබෙන බවය. ඔවුන් නිවසක් කුලියට ගෙන ඇති අතර නිවැසියන් කිසිවකුට හරි හමන් රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් තිබී නැත. එම නිසා කුඩා දරුවකුගේ අසනීප තත්ත්වයක් කියාපාමින් මුද්‍රණය කළ ටිකට්පත් බසයෙන් බසයට නැග විකිණීමට මේ දෙමස්සිනාලා කටයුතු කළහ. එම ටිකට් විකුණා දිනකට රුපියල් තුන්දාහක් රෝගී යැයි පැවසූ දරුවාගේ නමට බැංකු ගත කර ඉතිරි මුදල ඔවුන්ගේ වියදමට යොදා ගෙන තිබේ. අක්කාගේ දරුවන් දෙදෙනාගේ නඩත්තුවටත්, ගෙවල් කුලී ගෙවා ගැනීමටත් මේ මුදල් යොදාගෙන ඇති බව අනාවරණය වී ඇත. තම රාජකාරිය අකුරට ඉටු කළ පොලිස් සැරයන් 36334 ප්‍රියලාල් දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ ප්‍රශංසාවට ලක්ව ඇත. සිය රාජකාරිය කැපවීමෙන් උනන්දුවෙන් සිදු කරන දක්ෂ නිලධාරියෙකු ලෙස පොලිසියේ බොහෝ දෙනා හඳුනන ප්‍රියලාල් දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරි කරමින් තම දස්කම් පෙන්නා ඇත.
ගාල්ල කොට්ඨාසයේ රාජකාරි කරමින් සිටියෙදී කොල්ලකරුවන් පිරිසක් විසින් බෝම්බ හා අවි ආයුධ පෙන්වා මූල්‍ය ආයතනයකින් එක් කෝටි තිස් අට ලක්ෂයක රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් හඹා ගොස් අත්අඩංගුවට ගැනීමටද සක්‍රීය දායකත්වයක් සැපයූ නිලධාරියෙකි. ගාල්ල ඉහළ ඩික්සන් පාර මහාධිකරණ විනිසුරුතුමාගේ නිවසේ ආරක්ෂක රාජකාරි යෙදී සිටි ග්‍රාම ආරක්ෂක නිලධාරියෙකු සන්තකයේ තිබූ 84 එස් වර්ගයේ ගිනි අවිය කොල්ල කා පලාගිය සැකකරු පිටුපස කිලෝමීටර් 5ක් පමණ හමා ගොස් මිහිරිපැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම වැනි ක්‍රියාවන් සිදුකළ මොහු පොලිසිය වෙනුවෙන් වසර 33 සේවාවක් සපයා ඇත. දෙදරු පියෙකු වන ප්‍රියලාල් ගාල්ල තොටගොඩ අක්මීමණ. ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම්.එච්.සමන් – අක්මීමණ