ඊයේ (07) පස්වරුවේ පෙම් හසුනක් හුවමාරුවීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇති වු ගැටුමකදී  මාළු කපන මන්නයකින් ගෙළ කපා  සිය වැඩිමල් සොහොයුරා ඝාතනය කල බවට  සැක පිට කළුතර පලාතොට ප්‍රදේශයේ දී මිය ගිය අයගේ බාල සොහොයුරා අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි .

තියුණු ආයුධයකින් පහරදී  මෙලෙස ඝාතනය කර තිබුණේ කළුතර , පලාතොට විජයගම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටී පින්නදූව හේවගේ අනුරුද්ධ ධනංජය ද සිල්වා යන අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලිසිය එදිනම පස්වරුවේ සැකපිට සැකකරු අත්අඩංගුවට ගෙන ඝාතනය සදහා  යොදාගත් අඩි දෙකක් පමණ දිගැති මන්නයද සොයාගෙන තිබෙන අතර ඝාතනය සිදුකල තරුණයා දින කිහිපයකට පෙර ප්‍රදේශයේ තරුණියකට පෙම්හසුනක් ලබාදී ඇති බවත් එම සිදුවීම ඝාතනයට මුල්වී ඇති බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.

පෙම්හසුන ලබාගත් තරුණිය සිය පියාට ඒ බව දැනුම් දී ඇත. එය තරුණියගේ පියා තරුණයාගේ පියාට දැනුම් දී ඇති අතර එහිදී  වැඩිමහල් සොහොයුරා සහ බාල සොහොයුරා සමග ඇති කරගත් ආරවුලක් මෙම මරණයට හේතුවී ඇතැයි පොලීසිය කියයි.

ඝාතනයට ලක්ව ඇති වැඩිමහල් සොහොයුරා රාත්‍රි කාලයේ සිය ත්‍රිරෝදයෙන් කුලී ගමන් ගොස්  නිවසේ ඉදිරිපස කාමරයේ නිදා සිටියදී මුළුතැන්ගෙයි තිබූ අඩි දෙකක් පමණ දිගැති මන්නය රැගෙන ගෙලට පහරදී ඇති බවට සැකකරුගේ ප්‍රකාශ වලින් තහවුරුවූ බව පොලිසිය පවසයි.

Source – Lankadeepa

 

මෙන්න බලන්න තවත් පුවත්