
රාගම, මහර – නුගේගොඩ පාර ප්‍රදේශයේදී මාර්ගයේ අනාරක්ෂිත ලෙස පැවති දුරකථන රැහැන්වල ලොරි රථයක් පැටලීමේදී අදාළ රැහැන් කණුව හිසට කඩා වැටීමෙන් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙන බව වාර්තා වේ.
පසුගිය දා රාගම ගල්වල හන්දිය මහර – නුගේගොඩ පාර ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවී තිබුණ අතර රාගම සිට කඩවත දෙසට ධාවනය වන ලොරි රථය දුරකථන රැහැන්වල පැටලී කණුව කැඩී මාර්ගයේ ගමන් කළ කාන්තාවකගේ හිස මතට වැටීමෙන් ඇය බරපතළ තුවාල ලබා තිබේ.
එහිදී ද නොනවත්වා ධාවනය වන ලොරි රථයේ තවත් දුරකථන රැහැන් කිහිපයක් පැටලීමෙන් තවත් කණු 2ක් මාර්ගයට කඩා වැටෙන අයුරු CCTV කැමරාවක එලෙස සටහන්ව තිබුණි.
අදාළ ලොරි රථයේ රියදුරාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියෙන් අනතුරට ලක්වූ කාන්තාවගේ ඥාතීන් පවසන්නේ මෙම අනතුර සම්බන්ධයෙන් කිසිවෙකුත් වගකීම භාරනොගන්නා බවයි.
අනතුරින් තුවාල ලැබූ 53 හැවිරිදි කාන්තාව මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.