තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවෙන් සිදු වු මරණ සංඛ්‍යාව මේ වන විට 7,200 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

භූකම්පනය හේතුවෙන් සිරියාවේ මියගිය සංඛ්‍යාව 1,800ක් වන අතර තුර්කියේ මියගිය සංඛ්‍යාව 5,400ක් වන බවත් භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සඳහා සහන සැලසීමට රටවල් 70කින් සහනාධාර මෙන්ම සහන සේවා කණ්ඩායම් යොමුකර ඇති බවත් සඳහන්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත්තේ මුලු මර්ණ සංඛ්‍යාව 20,000 දක්වා ළඟා විය හැකි බවත්, මිලියන 23 ක ජනතාවක් ආපදාවෙන් පීඩාවට පත් විය හැකි බවත්ය.

තුර්කි රජය, සිරියානු රාජ්‍ය මාධ්‍ය සහ මානුෂීය සංවිධානයක් වන White Helmets හි දත්ත වලට අනුව මේ වන විට පුද්ගලයින් 26,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදුකරන අතර මෙක්සිකෝව විසින් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද සුනඛයින් 16දෙනෙකු ඇතුළු කණ්ඩයමක් තුර්කිය වෙත පිටත්කර යවා ඇති වාර්තා වේ.

එම අපාදාව හේතුවෙන් මාස 03ක හදිසි තත්ත්වයක් තුර්කි ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්