මේ වන විට භූමි කම්පා හේතුවෙන් ආපදාවට ලක් වී සිටින තුර්කි ජනතාව මුදාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාවේ සහය දෙන බව තුර්කි විදේශ අමාත්‍යවරයාට ප්‍රකාශ කළ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, තුර්කියේ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා හමුදා නිලධාරීන් කණ්ඩායමක් යැවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති අතර තුර්කියේ සිදුවූ ඛේදනීය ජීවිත හානි, තුවාල සහ විනාශය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුර්කි රජයට කණගාටුව ප්‍රකාශ කර තිබේ.

තුර්කියේ සහන සේවා සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 300කගෙන් සමන්විත පිරිසක් පිටත්ව යාමට සූදානම් බවත්  විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවත් යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් ප්‍රකාශ කර තිබේ.

මෙම පිරිස යුද්ධ හමුදාවේ වෛද්‍ය නිලධාරීන් සහ ඉන්ජිනේරු බළකායේ නිලධාරීන්ගෙන් සමන්විත වන අතර මේජර් ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් දිවයිනෙන් පිටව යාමට නියමිත මෙම කණ්ඩායමට බ්‍රිගේඩියර්වරයෙකු ද අනුයුක්ත බව යුද්ධ හමුදාව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, තුර්කි තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක් සිදු කරන ඕනෑ ම අවස්ථාවක දිවයිනෙන් පිටත්ව යාමට එම කණ්ඩායම සූදානම් බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් වැඩිදුරට ත් ප්‍රකාශ කර තිබේ.

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්