සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස සැලකෙන දර්ශන හඳුන්ගොඩට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

අද (06) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරින් විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හදුන්ගොඩ අත්අඩංගුවට ගැනුණී. පසුව ඔහුව අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහුට ඇප ලබාදීමට නියෝග කෙරුණි.

පසුගිය වසරේ වසරේ අරගල සමයේ මැයි 09 වැනිදා රාත්‍රියේ අරලියගහ මන්දිරය ඉදිරිපිට සිදුවූ කලහකාරී සිදුවීමේදී ප්‍රචණ්ඩත්වය ඉස්මතුවන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍යවල මුදාහැරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශනයක් අරඹා තිබුණි. පසුව එම විමර්ශනයට අදාළව දර්ශන හඳුන්ගොඩගෙන් ඉකුත් වසරේ මැයි 31 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04ක කාලයක් ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය.

වැඩිදුර විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීමට ඔහුට මෙම වසරේ ජනවාරි 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔහු එදින එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ  විමර්ශන කොට්ඨාශය දර්ශන හඳුන්ගොඩ රටින් පිටවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ගනු ලැබීය. කෙසේ වෙතත් ඒ අතරවාරයේ දර්ශන හඳුන්ගොඩ රටින් පිටව ගොස් තිබුණේ අධිකරණයට දැනුම් දීමකින් තොරවය.

ඒ අනුව ඩුබායි රාජ්‍යයේ සිට අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණෙමින් සිටියදී දර්ශන හඳුන්ගොඩ ආගමන විගමන නිලධාරින් විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

උපුටා ගැනීම – අද දෙරණ

 

මෙන්න බලන්න තවත් පුවත්