
පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පවත්වනවා ද, නැද්ද යන නිශ්චිත තීන්දුව ලබන 8 වන දා ප්‍රකාශයට පත්කිරීමට සූදානම් බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය 1 වන දා පොහොට්ටු කාර්යාලයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම් ඇතුළු පිරිසක් හමුවූ මොහොතේ බැසිල් රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට දැඩිව අවධාරණය කර ඇත්තේ මැතිවරණය තියනවා ද නැද්ද යන ‘ආණ්ඩුවේ හරි මතය’ පවසන ලෙස යැයි එම ප්‍රකාශකයා මාධ්‍යට සදහන් කරයි.
කෙසේවෙතත් ලබන 8 වන දින ආණ්ඩු පක්ෂය රැස්වන අතර එහිදී ආණ්ඩු පක්ෂයෙන් මේ පිළිබඳ නිශ්චිත මතය හරියාකාරව දැනගෙන ඒ බව දැනුම්දීමට සූදානම් බව අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතාට පොරොන්දු වී ඇති බවත් මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීන්දුව දීමේ සම්පූර්ණ අයිතිය මැතිවරණ කොමිෂන් සභාවට හා අධිකරණයට භාර තීන්දුවක් වුවත් අග්‍රාමාත්‍යවරයා, පළාත් පාලන ඇමතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන කටයුතු කරන හෙයින් මේ පිළිබඳ ආණ්ඩුවේ මතය අවශ්‍ය බව බැසිල් රාජපක්ෂ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කර තිබෙන බවත් වාර්තා වේ.
මෙම මැතිවරණය ටික කලකට කල් දැමීමට මැදිහත් වන ලෙස බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයාගෙන් ඇතැම් දිස්ත්‍රික් සංවිධායකවරුන් පිරිසක් ඉල්ලා සිට ඇති නමුත් බැසිල් රාජපක්ෂ ඒ පිළිබඳ මැදිහත් වීම තමාට කිසි ලෙසකින්වත් කළ නොහැකි දෙයක් බව පවසා ඇති බව එම ප්‍රකාශකයා සදහන් කරයි.
කෙසේ නමුත්, තමාට හතර වටින් එන පීඩනය නිසා ම දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයාගෙන් ඡන්දය පවත්වන දිනය කවදා ද යන්න පිළිබඳව බැසිල් රාජපක්ෂ විසින් විමසා ඇති බව ද එම ආණ්ඩුවේ ප්‍රකාශකයා සඳහන් කරයි.
ඡන්ද විමසන දින හරිහැටි තීන්දු නොවුණත් බැසිල් රාජපක්ෂ කණ්ඩායම මැතිවරණයට සූදානම් වී ඇති අතර එහි ප්‍රචාරණ කටයුතු සතියක් ඇතුළත නිම කිරීමට සූදානම් බව ත් පළමු වටය ගම්පහ සහ කුරුණෑගලින් අරඹන බව ත් වැඩිදුරට ත් වාර්තා වේ.
උපුටාගැනීම – මව්බිම