භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ජපානය ආසන්න මුහුදේදී පෙරළී අනතුරට පත් ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ නාගසාකි වෙරළට ඔබ්බෙන් මුහුදේදී අදාළ නෞකාව පෙරළී ඇති අතර එහි සිටි කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු අද (25) බේරා ගත් බවත් එහි සිටි කාර්ය මණ්ඩලයේ තවත් 9 දෙනෙකු සෙවීම සඳහා ජපානය සහ දකුණු කොරියාව මේ වන විට මෙහෙයුම් දියත් කර ඇති බවත් අදාළ වාර්තාවල සදහන් වේ.

‘Jintian’ නමැති එම නෞකාව ටොන් 6,551ක් බරින් යුක්ත ව ඇති අතර කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු අසල තිබුණු යාත්‍රා මගින් බේරා ගෙන තිබේ. පසුව ජපන් සහ දකුණු කොරියානු වෙරළාරක්ෂක භටයින් විසින් අට දෙනෙකු බේරා ගනු ලැබ ඇත.

ජපාන බලධාරීන් සඳහන් කළේ හොංකොංහි ලියාපදිංචි එම නෞකාවේ කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු චීන ජාතිකයින් වන අතර 8 දෙනෙකු මියන්මාර ජාතිකයින් වන බවයි.

කියෝඩෝ ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර ඇත්තේ, ‘Jintian’ නෞකාවේ කාර්ය මණ්ඩලය ඊයේ (24) අගභාගයේදී ඔවුන් ආපදාවට ලක්වී ඇති බවට පණිවිඩයක් යවා ඇති බවත් එම ඇමතුමෙන් පැය හතරකට පමණ පසු යාත්‍රාව මුහුදේ ගිලී ඇති බවත් ය.

දකුණු කොරියානු වෙරළාරක්ෂක බළකාය එම ස්ථානයට පැමිණෙන විටත් එම නෞකාව සම්පූර්ණයෙන් ම ජලයෙන් යට වී තිබී ඇති බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.  ‘Jintian’ නෞකාව පෙරළීමට හේතුව කුමක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්