පසුගිය 23 වන දින රාත්‍රි කාලයේදී බිංගිරිය පොලිස් ස්ථාන භාර නිලධාරීන් විසින් විලත්තාව ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා සෝදිසි කිරීමේදී ඒ හරහා ධාවනය වූ ලොරියක් ගැන සැක සිතී එය සෝදිසි කිරීමේදී ලොරිය තුළ සකස් කර තිබූ රහසිගත කුටියක පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ. එම  පුපුරණ ද්‍රව්‍ය කුමක් අරබයා එලෙස සඟවා ගෙන රැගෙන යන්නේ ද යන්න සොයා බැලීම සඳහා සිදුකෙරෙන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව සදහන් වේ.

ලොරියේ රහසිගත කුටියක් තුළ ප්ලාස්ටික් බටවල අසුරා තිබූ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට 89ක් එලෙස රැගෙන යාම විමර්ශන නිලධාරීන්ට දැඩි ප්‍රශ්නයක් ඇති වීම මත මෙහි විමර්ශන රහස් පොලිසියට භාර දී තිබෙන අතර පුපුරණ ද්‍රව්‍යවලට අමතරව අඩි 80ක් දිගින් යුත් සේවා නූල් 21ක්, ඩෙටනේටර් 100 බැගින් අසුරන ලද පෙට්ටි 9ක් ද ලොරියේ සකසන ලද රහස් කුට්ටියේ තිබී පොලිසිය සොයාගෙන තිබේ.

එම අවස්ථාවේ ලොරියේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇතත් ඔවුන් නිලධාරීන්ට පවසා ඇත්තේ මසුන් මැරීම සඳහා එම පුපුරණ ද්‍රව්‍ය රැගෙන යන බ වය. එය කෙසේවත් පිළිනොගත් නිලධාරීන් පුපුරණ ද්‍රව්‍ය අසුරන බට 89ක්, ඩෙටනේටර් 100 බැගින් අසුරන පෙට්ටි විශාල ප්‍රමාණයක් මෙසේ සඟවා ගෙන රැගෙන යාම වෙනත් අපරාධයක් සඳහා විය හැකි බවට සැක කර තිබේ. අත්අඩංගුවට ගත් දෙදෙනා 33 සහ 34 වයස්වල පසුවන මන්නාරමේ පදිංචිකරුවෝ වෙති.

බිංගිරිය පොලිසිය මේ සම්බන්ධයෙන් උසස් නිලධාරීන්ට කළ දැනුම්දීමෙන් පසු සැකකටයුතු ද්‍රවිඩ පුද්ගලයන් දෙදෙනා සමග පුපුරණ ද්‍රව්‍ය රහස් පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්