අලුත්ගම දරුසලාම් මුස්ලිම් විද්‍යාලයේ, පළමු වසරේ ඉගෙනුම ලබන පාසල් දැරියක පාසල නිම වී, සිසු සැරිය බස් රථයෙන් පැමිණ තම නිවස අසලින් බස් රථයෙන් බිමට බැසීමට ගිය අවස්ථාවේ එම බස් රථයට යටවී අවාසනාවන්ත ලෙස අද (24) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පරසන්ගස්වැව පොලිසිය සදහන් කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අළුත්ගම ගම්බිරිගස්වැව ප්‍රදේශයේ ලිපිනයේ පදිංචි අබ්දුල් මජිත් ෆායිස් පාතිමා නැමැති 6 හැවිරිදි දැරියකි.

මෙම දැරිය, පාසල නිම වී බස් රථයෙන් පැමිණ බස් රථයෙන් බිමට බසින අවස්ථාවේදී ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බවත් බස් රථයේ පිටුපස රෝදයට යටවී බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පස්වරු 1.30ට පමණ මෙම දැරිය ජීවිතක්ෂයට පත්වූ බවත් පොලීසිය සඳහන් කරයි.

බස් රථයෙන්, දැරිය බිමට බසින අවස්ථාවේදී අපරික්ෂාකාරී ලෙස එක්වරම බස් රථය යළි ගමන් ආරම්භ කිරීමේදී අනතුර සිදුව ඇති බවට ලැබුණු තොරතුරු වලට අනුව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක වන බවද පොලිසිය පවසයි.

අනතුරෙන් පසු බස් රථයේ කොන්දොස්තරවරයා සහ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පරසන්ගස්වැව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එල්.සී. සිරිකාන්ත මහතාගේ උපදෙස් මත රථ රථ වාහන අංශයේ නිලධාරීහු පිරිසක් අනතුර සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරයි.

මෙන්න බලන්න තවත් පුවත්