අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේදී ද විදුලි කප්පාදුව නතර කිරීමට විදුලිබල මණ්ඩලයේ එකඟතාවය හිමි වු  බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (22) පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී පවසා තිබුණි. නමුත් උසස් පෙළ විභාග කාලයේ අඛණ්ඩව විදුලිය ලබා දීමට නම් අමතර රුපියල් බිලියන පහක ඉන්ධන අවශ්‍ය වුවත් එවැනි වියදමක් දැරීමට ලංකා විදුලි බල මණ්ඩලයට හැකියාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය උසස් පෙළ විභාගය ආරම්භ වන අද (23) සිට අඛණ්ඩ විදුලි සැපයුමක් කරන්නැයි තමාගෙන් ඉල්ලීමක් කළත් අයහපත් මූල්‍ය තත්ත්වය ඊට බලපා ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර ඊයේ (22) සදහන් කොට තිබුණි.

විභාග කාලසීමාවේදී අඛණ්ඩ විදුලි සැපයුමකට රුපියල් බිලියන පහක අමතර පිරිවැයක් දැරීමට සිදුවන බව තෙල් නීතිගත සංස්ථාව විදුලිබල මණ්ඩලයට දැන් වූ නමුත් ඊට මූල්‍ය ශක්තියක් ලංවිමට නොමැති පෙන්වා දුන් ඔහු කියා සිටියේ එසේ ඉන්ධන ලබා ගතහොත් මිල දී ගැනීම් කිරීමට සිදුවන්නේ ණයක් මත යැයි කී හෙතෙම එය ද ඉහළ පොළියක් යටතේ ණය ගැනීමක් වනු ඇති බවයි.

එසේ ඉහළ පොළියක් මත ණය ගතහොත් නැවතත් පෝලිම් යුගයකට රට අවතීර්ණ වීමේ ඉඩක් ඇති බවත් රජයේ ප්‍රතිපත්තිය උසස් පෙළ කාලයේ පමණක් නොව සෑම දිනක ම පැය විසිහතර පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් කිරීම බවත් අවධාරණය කළ ඔහු පිරිවැයට ගැළපෙන සේ ගාස්තු ක්‍රමය සංශෝධනය විය යුතු බවට නොවැම්බර් හා ජනවාරි මාසවලදී කැබිනට් පත්‍රිකා දෙකක් ම ඉදිරිපත් කළේ ඒ අනුව යැයි ඔහු සදහන් කරයි.

මැතිවරණයකට මුහුණ දී සිටින අවස්ථාවක විදුලි ගාස්තු වැඩි කිරීමෙන් රජයකට ලබාගත හැක්කේ කුමක්දැයි විමසූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ විදුලි ගාස්තු සංශෝධනයට ඉඩදෙන්නැයි රජය ඉල්ලා සිටින්නේ මෙසේ පෝලිම් යුගයක් නැවත නිර්මාණය වීම වැළැක්වීමට යැයි ද එය රජයකට හා ඇමතිවරයෙකුට ගතහැකි අපහසුම තීන්දුවක් බවයි.

මෙන්න බලන්න තවත් පුවත්