ගෙවුණු සතියේ අහන්න ලැබුණු අතිශය ඛේදනීය පුවත් අතර කොළඹ සරසවියෙන් අහන්න වුණු අවාසනාවන්ත කතා ප්‍රවෘත්තිය තවමත් කා අතරත් රැව්දෙන බව විශ්වාසයි. යළි යළිත් මෙවන් කතා අපිට අහන්න ලැබෙන්න එපා කියන ප්‍රාර්ථනය හැමෝගෙම හිත්වල ඇති බවත් විශ්වාසයි. එම සිදුවීම ගැන සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු සටහනක් ජනප්‍රිය නිළි ශලනි තාරකා ද සිය ෆේස්බුක් ගිණුම හරහා මේ විදියට හුවමාරු කරගෙන තිබුණා.

“විශ්වවිද්‍යාල ගෑණු ළමයෙක්ව එයාගෙ පෙම්වතා ඝාතනය කළ පුවත, පින්තූර දැකලා මේ පෝස්ට් එක ලියන්නෙ බොහොම හිතේ අමාරුවෙන්. හීනමානෙන් පෙළෙන, ප්‍රතික්ෂේපවීමක් හැන්ඩ්ල් කරගන්න බැරි ගෝතයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන්ගත් පවට අද ඒ ගෑණු ළමයා මේ ලෝකෙ නෑ. ලංකාවෙ ගොඩක් තරුණ පිරිමින්ට ප්‍රතික්ෂේපවීමක් දරාගන්න බැහැ. පෞරුෂයෙන් එච්චරට දුර්වල යි, හීනමානෙ යි. කෙල්ලෙක්ගෙන් යාළුවෙන්න අහලා ඒකි බෑ කිව්වොත් “ඇයියැයියැයි”, “මගෙ මොකද්ද අඩුව” කියලා අහ අහ, කෙල්ලව ෆලෝ කර කර, යාළුවො අතේ පණිවිඩ එව එවා වාත වෙනවා.

පෙම්වතෙක් නැති කෙල්ලෙක් වුණාම, යාළුවෙන්න අහන මොකාට නමුත් හා කියන්න ඕනෙ, බෑ කියනවා නම් නිදහසට කාරණා ඉදිරිපත් කරන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නවා. හදිසියෙවත් යාළුවුණ කෙල්ල වෙන් වෙන්න හැදුවොත් රඟනවා රැඟිල්ලක් ආයෙ අම්මටසිරි වෙන්න. “මං ගිහින් මහණවෙනවා” කියනවා, “ආයෙ තොට මොකෙක් එක්කවත් යාළුවෙන්න ඉඩ තියන්නෑ” කියනවා, “උඹව උස්සනවා” කියනවා… “මං ලියුමක් ලියලා තමුසෙ පිටට වැරැද්ද දාලා සුයිසයිඩ් කරගන්නවා” කියලා මං යාළුවෙලා හිටි එකෙක් මට වරක් කියලා තියෙනවා. අම්බම ටොක්සික්. ඇයි? කෙල්ල බ්‍රේකප් වෙනවා කියන්නෙ මේ වගේ පුංචි පිරිමින්ගෙ ඊගෝවට පහරක්. ලෝක ලැජ්ජාවක්. උංගෙ මයික්‍රොස්කොපික් පිරිමිකමට නින්දාවක්.

සමාජයක් විදියට අපි සමහර අංශවලින් පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන ස්ටෑන්ඩර්ඩ්ස් ඉතාම පහත යි – the bar for men is so low that it’s buried. උදාහරණයක් විදියට, මම දැක්කා සමහරු කියනවා, “අපි මෙහෙම නොකරන නිසා (ඒ කිව්වේ මි නී නොම රණ නිසා) අපේ කෙල්ලෝ අපට මල් තියලා වඳින්න ඕනේ” කියලා. ඒ කිව්වේ, සමාජයක් විදියට ඇතැම් පිරිමි, ගැහැණු හිතනවා යම් පිරිමියෙක් මි නී නොම රණවා නම් අන්න ඌ මල් තියලා වඳින්න තරම් වටිනා පිරිමියෙක් කියලා. ‘මි නී නොම රණවා’ කියන ඉතාම සාමාන්‍ය, ශිෂ්ට, මානුෂික හැසිරීම හෙණම ලොකු දෙයක් විදියට උඩ දාන්න වෙලා තියෙන එක ඛේදවාචකයක් නෙවෙයි ද? ඒක හරියට “මම උඹව රේ ප් නොකරන නිසා මට මල් තියලා වැඳපන්” කියන එකට වෙනස් වෙන්නේ කොහොමද?

අනිත් කාරණේ, ගොඩක් ගෑණු ළමයින්ට වැටහෙන්න නැහැ කොල්ලෙක්ගෙන් බ්‍රේකප් වෙන්න උගෙ අවසරේ ඕන නැතිවග. හෙණම උගත්, වැඩිහිටි පිරිමි පවා සම්බන්ධවල දි කියනව “එහෙම යන්න දෙන්න බෑ, මං බ්‍රේකප් වෙන්න දෙන්නෙ නෑ” කියලා. මොකද, පිටට කොච්චර ප්‍රෝග්‍රෙසිව් වුණත් තවමත් ගොඩක් පිරිමින්ගෙ හිත් ඇතුළෙන් උන් තමයි සම්බන්ධෙක දි ලොක්කා; බලයලත් පාර්ශවය.

එහෙම ‘ලෙඩ්ඩු’ එක්ක අත්දැකීම් තියෙන නිසා තරුණ ගෑණු ළමයින්ට මම කියන්නෙ: ජීවිත කාලෙම තනියෙම ඉන්න සිද්ධවුණත්, “නෑ”, “බෑ” කියන උත්තර බාරගන්න බැරි ගෝතසිපයි එක්ක යාළුවෙන්න එපා. තමන්ව දේපොළක් විදියට සලකන, තමන්ගෙ ජීවිතේ, වෙනත් සබඳතා පාලනය කරන්න හදන හීනමානකාරී පිරිමි එක්ක යාළුවෙන්න එපා

තමන්ට ශාරීරික, මානසික, වාචික අඩත්තේට්ටම් කරන පිරිමි එක්ක යාළුවෙන්න එපා 4. පිරිමි නීති දාන්නෙ, බනින්නෙ ආදරේට නෙවෙයි, ඌ ඔයාට වඩා හොඳ නරක තේරෙන, ඔයාගෙ ලොකු තාත්තා කියලා හිතාගෙන ඉන්න නිසා. ඔයාට ඔයාගෙ ජීවිතෙ ගැන තීරණ ගන්න තරම් බුද්ධියක්, හැකියාවක් ඇතැ යි කියලා නොසලකන එහෙම එවුන් එක්ක යාළුවෙන්න එපා

බ්‍රේකප් වෙන්න පර්මිෂන් ඉල්ලන්න එපා. සම්බන්ධෙක සම-පාර්ශවය වෙන ඔයාලට ඕනෙ වෙලාවක සම්බන්ධෙ නවත්තන්න පුළුවන්. ඒකට අවසර ගන්න හෝ දෙදෙනාම එකඟවෙන්න හෝ අවශ්‍ය නැහැ. බ්‍රේකප් වෙන්න ඕනෙ කිව්වම ඒකට විරුද්ධ වෙන, තර්ජන ගර්ජන කරන මනුස්සයෙක්ව හම්බවෙන්න තනියෙම යන්න එපා

තර්ජන ගර්ජන කරනවා නම්, අඩත්තේට්ටම් කරනවා නම් ඒ සම්බන්ධෙ නවත්තන්න හා පොලිස් පැමිණිල්ලක් දාන්න පසුබට වෙන්න එපා. හදාගන්න බලාගෙන පිරිමි ගන්න එපා. ඔයාලා බිඳුණු පිරිමින්ව හදලා ගන්න ඉන්න පුනරුත්ථාපන මධ්‍යස්ථාන නෙවෙයි. ඔයාලා ඔය හිතාගෙන ඉන්න විදියෙ “අඥී මං ඉයාව ආදරින් වෙනස් කරනව” වගෙ බයිලා බොහෝ අවස්ථාවන්වලට හරියන්නෙ නෑ. ප්‍රේම සම්බන්ධයක් ඕනෙ නම් එහෙම එකක් පටන්ගන්නවා මිස හෝප්ලස් කේසස් ප්‍රොජෙක්ට්ස් විදියට බාරගන්න එපා

යාළුවෙලා ඉඳිද්දි කරන්නෙ සතියට දවස් දෙකතුනක්ම රණ්ඩු වෙන එක නම්, එහෙම සම්බන්ධ ඉදිරියට ගෙනියන්න එපා. අර ළාබාල ගෑණු ළමයාට සිද්ධවුණු මහා අපරාධෙ ඔයාලට සිද්ධවෙන්න ඉඩ තියන්න එපා. ඒ අසරණ කෙල්ල දෑහෙ මූණෙ තියලා හදලා කැම්පසුත් එවපු ඒ අම්මා තාත්තා අද විඳින දුක ඔයාලගෙ අම්මා තාත්තට විඳවන්න ඉඩ තියන්න එපා. වැඩකට නැති, කාල කන් නි ගෝතයො එක්ක විඳව විඳව එල්ලිලා ඉන්න එපා

ප.ලි.: මේ කියන්නේ ගෑණු ටොක්සික් නෑ, ගෑණු වැරදි කරන්නේ නෑ කියන එක නෙවෙයි. ලංකාවේ ගෑණු ගොඩකුත් රිලේෂන්ශිප්වල දී අම්බ ටොක්සික්, ඒකෙ කතා දෙකක් නෑ.

නමුත් මම මේ පෝස්ට් එක ලිව්වේ ගෑණු ළමයින්ව ඉලක්ක කරලා. එහෙම පෝස්ට් එකක් ලියද්දි ලෝකෙම ඉන්න තරමක් කෙල්ලෝ, කොල්ලෝ, ට්‍රාන්ස් කට්ටිය, සමලිංගික අය, බල්ලෝ පූසෝ ආදී සියල්ලන්වමත් ඇඩ්‍රස් කරන්න ඕනේ නෑ. ‘ගොඩක් කොල්ලෝ ටොක්සික්’ කියන්නේ ‘කෙල්ලෝ ටොක්සික් නෑ’ කියන එක නෙවෙයි.

ප.ප.ලි.: “හැඥේ ඇයි කොල්ලන්ටම කියන්නේ, ටොක්සික් කෙල්ලෝ නැද්ද, මේක කොල්ලන්ට අදාළ නැද්ද, කොල්ලෝ කෙල්ලෝ නිසා කොච්චර විඳවනවා ද” ආදී වශයෙන් මෙතන අදෝනා තියන්න එපා. ඒක හරියට, “ඇයි පරිප්පු ගැන විතරක් ලියන්නේ, ඇයි බීට්රූට් හොඳ නැද්ද? නෝකෝල් ගුණ නැද්ද? පරිප්පු රහයි කියන එකෙන් ඔයා අදහස් කරන්නේ ගස්ලබු රහ නෑ කියන එක නේද?” කියලා අහනවා වගේ. ඒ වගේම, “මේ පෝස්ට් එක ලියන්නේ හරිම හිතේ අමාරුවෙන්” කියලා පටන්ගැන්මෙ දීම ලියලා තියෙද්දී, “හැඥේ හෙඥ කේන්චියෙන් ලියලා චියෙන්නේ” ගාන්නත් එපා. මෙහෙම හෑලි ලියන්න වෙලා තියෙන්නේම ඇතැමුන්ට සිංහල නොතේරෙන නිසා යි, කතාවක නැට්ටෙන් අල්ලගන්න නිසා යි. කොල්ලන්ට උපදෙස් දෙන එක මගේ වැඩක් නෙවෙයි. මේක කොල්ලන්ටත් අදාළ කරලා ලියාගන්න, මට කමක් නැහැ “

මෙන්න බලන්න තවත් පුවත්