ජීවිතය රඟමඬලක් බවත් අපි එහි රඟන නළු නිළියන් බවත් කීවේ ලෝ ප්‍රකට ලේඛක විලියම් ‍ෂේක්ෂ්පියර් ය.

ඒ කතාවේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් යමකු සිය ජීවිත කාලය පුරාවට නිරූපණය කරන භූමිකාවන් විවිධාකාරය. ඒ අතර ඇතැම් ඒවා තාත්විකය.

ඇතැම් ඒවා අතාත්විකය. අපේ කතාවේ කතා නායකයා ද එවැන්නෙකි. ‘හිතුමතේ ජීවිතේ’ නමින් ඔහු වසර ගණනාවක් කළ රංගනය කෙතරම් තාත්වික ද කිවහොත් එය සත්‍යයක් ද අසත්‍යයක් ද යන්න පවා කෙනකුට සිතාගත නොහැකිය.

‘හිතුමතේ ජීවිතේ’ නමින් චරිතයක් කරළියට එන්නේ 2014දී ජනාධිපති සමාව ලබා බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි බව කියමින් බටුගහගේ දොන් රංජිත් කරුණානන්ද නොහොත් සුමතිපාල නොහොත් හිතුමතේ ජිවිතේ නැමැති පුද්ගලයකු විසින් කරනු ලැබූ පාපොච්චාරණයක් සමඟය.

එම පාපොච්චාරණයෙන් ඔහු අනාවරණය කළේ, අවුරුදු කුමරියක ලෙස කිරුළු පැලඳි තම එකම නැඟණිය fg කොට මරා දැමීමේ අපරාධයට ප්‍රධාන සැකකරුවා වූ පොලිස් පරීක්ෂකවරයකු ඝාතනය කිරීමේ වරදට සිපිරි ගෙදරට නියම වූ තමා 1975 වසරේදී බෝගම්බර බන්ධනාගාරය තුළදී දැමීමට අධිකරණයෙන් නියෝග කර තිබූ බවයි.

මරණ දඬුවම නියමව බන්ධනාගාරය තුළ සිරදඬුවම් විඳිමින් සිටියදී අවස්ථා කිහිපයකදී ඉන් පැන ගොස් තම නැඟණිය සම්බන්ධ තවත් පස් දෙනකු ඝාතනය කළ බව ද ඔහුගේ පාපොච්චාරණයට අයත් විය.

මනුෂ්‍ය ඝාතන සිදු කිරීම හා බන්ධනාගාරයෙන් පලා යෑම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් නැවත නැවතත් බන්ධනාගාරගතව සිටියදී 1978 වසරේදී එවකට රජය විසින් එල්ලුම් ගහ තහනම් කිරීමත් සමඟ ඔහුගේ මරණ දඬුවම ප්‍රමාද වී තිබුණි.

බන්ධනාගාරයේදී ඔහු කළ කී දෑ සියල්ල එදා පුවත්වලට උණුසුම් පුවත් මැවූ අතර, ඒවා සමාජය තුළ ආන්දෝලනයක් ද ඇති කළේය.

ඔහුගේ පාපොච්චාරණය සහෝදර ප්‍රේමයේ උත්තරීතර බව සහ බැඳීම පිළිබඳ ලොවටම හඬ ගා කියූ අවස්ථාවක් ලෙස සමාජ ගත වීමට ද එකී මාධ්‍ය වාර්තා සමත් වූ බව නොරහසකි.

එනිසාම ‘හිතුමතේ ජීවිතේ’ වීරයකු බවට පත්වූයේ නිතැතිනි. ඒ හැඟීම කෙතරම් ප්‍රබල විණි ද යත් එම චරිතය ඇසුරෙන් ප්‍රබන්ධ නවකතා මෙන්ම චිත්‍රපට ද බිහි වන්නට මඟ සැකසිණ.

එහෙත් බොරුවට වැඩි ආයුෂ නැති බව කියමින් මෙතෙක් මවා පෑ ලෝකය හිටිහැටියේම දෙදරා ගියේ හදිසියේය. ඊට හේතුව රංජිත් විසින් ඝාතනයට ලක්වූවා යැයි කියූ ඔහුගේ එකම නැඟණියගේ ආගමනයත් සමඟය.

ඔහු කියන අන්දමේ කිසිදු සිද්ධියකට තමා මුහුණ නොදුන් බවත් මේ සියලු කතා ඔහු විසින් ගොතන ලද්දක් බවත් ‘හිතුමතේ ජීවිතේ’ ගේ නැඟණිය චන්ද්‍රානි වැඩිදුරටත් මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් කීවාය. එහිදී ඇය වැඩිදුරටත් මෙසේ ද පවසා තිබිණ.

“‘හිතුමතේ ජීවිතේ’ ගේ එකම නංගි මමයි. එයා මාධ්‍යවලට, පත්තරවලට ගිහින් අර විදිහේ බොරුවක් කියද්දි මමයි, මගෙ පොඩි අයියයි ඒ මාධ්‍යවලටයි පත්තර කන්තෝරුවලටයි ගිහින් කිව්වා මේවා ප්‍රචාරය කරන්න එපා, එයා බොරු කියන්නේ කියලා. නමුත් අපිට සාධාරණයක් වුණේ නැති තැන අල්ලලා දාලා නිකම් හිටියා. පොතක් ගහනවා කියලා ආරංචි වුණාම එයාලටත් මම කිව්වා මම ඉදිරිපත් වෙනවා කියලා. ඒත් එයාලා ඒ පොතත් ගැහුවා. මම උපන්නේ වාද්දුව මොරොන්තුඩුවේ. දංකොටුවේ පදිංචියට එද්දි මට වයස අවුරුදු 7යි. අයියා ගැන මට ලොකු මතකයක් නැහැ. මට මතක අම්මයි තාත්තයි අනිත් අයියලා දෙන්නයි. ඒත් මට මතකයි එකපාරක් මම අම්මත් එක්ක ගියා මීගමුවේ බන්ධනාගාරයට.එතකොට එයා ඇවිත් අපිත් එක්ක කතා කළා මට මතකයි. එයා අවුරුදු හතළිස් ගාණක ඉඳන් හිරේ කියනවා. ඒවා සේරම බොරු. එයා කියන දේවල් ඇත්ත ද නැත්ත ද කියලා පොලිසිවලට, බන්ධනාගාරවලට ගිහින් බලන්න පුළුවන්. ඒත් එයා හිරේ හිටිය ද කියලවත් හොයලා බලන්න කිසි කෙනෙක් උනන්දු වුණේ නැහැ. අපි බොරු කියනවා කියලයි කිව්වේ. මේකෙන් අපි ගොඩක් අපහසුතාවට පත් වුණා. ඒක අපිට ලොකු කරදරයක් වුණා. අම්මා මැරුණේ හිරගෙදරදි පපුව පැළිලා කියලත් කියලා තිබුණා. ඒකත් බොරුවක්. අම්මගේ මරණ ගෙදරට එයා ඇවිත් ගියා. එයා කොහේ ඉන්නවද කියලවත් අපි දන්නෙ නැහැ. කවුරුහරි අම්මගේ මරණේ ගැන කියලා ආරංචියට වෙන්නැති එන්න ඇත්තේ”

එම හෙළිදරව්වෙන් පසු ‘හිතුමතේ ජීවිතේ’ විසින් මාධ්‍ය මඟහැරි අතර මීට වසරකට පමණ පෙර ඔහු මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී පලා ගියේ “මගේ පාඩුවේ මට ඉන්න දීපල්ලා, මම මැරෙනවා” යැයි කියමින් ඉතා පරාජිත ආකාරයකිනි.

ඉන්පසු රෝගීව, ඉතා අසරණ තත්ත්වයෙන් තැන තැන කල්ගත කළ ‘හිතුමතේ ජීවිතේ’ අවසන් වරට යූ ටියුබ් නාළිකාවක සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ඔහුගේ ජීවිතය දැන් ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇති බවයි.

ඉන්න හිටින්නට හරිහමන් තැනක් හෝ ජීවිකාවක් නොවූ ඔහු තැන් තැන්වල ජීවත්වන තත්ත්වයට වැටී සිටියේය. උගුරේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයකට ද ලක්ව සිටි ඔහු එදවස ජීවිතය ගැට ගසා ගත්තේ මහමඟ තැඹිලි විකුණමිනි.

“වෙච්ච දේවල් වුණා. දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ. ළමයින්ට කියන්නේ, හොඳට ඉගෙන ගන්න, අම්මා තාත්තා කියන දේ අහන්න, සමාජයේ හොඳට ජීවත් වෙන්න, මට වුණා වගේ දෙයක් කාටවත් වෙන්න එපා කියලා තමයි කියන්නේ”එදා ද ඔහු එසේ කීවා මිස ‘හිතුමතේ ජීවිතේ’ ලෙස තමා සමාජගත කළේ බොරුවක් නොවන බව කිසිවිටෙකත් පිළි නොගත්තේය.

සිපිරි ගෙයිදී තමාගේ පපුවේ ‘හිතුමතේ ජීවිතේ’ නමින් පච්චය කෙටුවේ ‘මරු සිරා’ බව ද ඔහු මීට පෙර අනාවරණය කර තිබිණ. ‘හිතුමතේ ජීවිතේ’ ගැන මතක ජනතාවගේ හදවත් තුළින් කෙමෙන් දියැවී යද්දී ඉකුත් සතියේ යළිත් ඔහු ගැන මතකය අවදි වූයේ ‘හිතුමතේ ජීවිතේ’ගේ මරණය පිළිබඳ පුවතිනි.

ඒ ‘හිතුමතේ ජීවිතේ’ නමින් ප්‍රසිද්ධව සිටි බටුගහගේ දොන් රංජිත් කරුණානන්ද නැමැත්තා ඉකුත් 13 වැනිදා ජීවිතක්ෂයට පත් වී තිබෙන බවත් කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති මෘත දේහය බාර ගැනීමට කිසිවකු ඉදිරිපත් වී නැති බවටත් පුවතක් පළ වීමත් සමඟය.

එහෙත් අවසානයේ ඔහුගේ දේහය බාර ගැනීමට රෝහලට පැමිණියේ ඝාතනය වූ බවට ‘හිතුමතේ ජීවිතේ’ මාධ්‍ය ඉදිරියේ කී ඔහුගේ එකම නැඟණියත් සහ බාල සහෝදරයාත්ය.

ඉකුත් 16 වැනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක, සාම විනිසුරු පාරින්ද කොටුගොඩ විසින් ‘හිතුමතේ ජීවිතේ’ගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය පැවැත්විණි. එහිදී අනාවරණය වූ තොරතුරු අනුව බටුගහගේ දොන් මාටින් පෙරේරා සහ තුඩුවගේ දොන් සෝමවතී යුවළට දරුවන් සිවු දෙනෙකු වන අතර, ඒ පුතුන් තිදෙනකු සහ එක් දියණියක ලෙසිනි. ‘හිතුමතේ ජීවිතේ’ ලෙස අන්වර්තිත නාමයෙන් හැඳින්වූ බටුගහගේ දොන් රංජිත් කරුණානන්ද පුතුන් තිදෙනාගෙන් දෙවැනි පුතුය. කුඩා වියේ සිටම ඉතා හිතුවක්කාරී චරිතයක් වූ ඔහු පාසල් වියේ සිය පවුලෙන් පමණක් නොව නිවෙසින් ද පිටවී ජීවත් වූ අයෙකි.

අවිවාහකයකු වන හෙතෙම දැනට වසර පනහක පමණ කාලයක සිට ‘හිතුමතේ ජීවිතේ’ යනුවෙන් පපුවේ පච්චයක් කොටාගෙන මාධ්‍ය හරහා විවිධ දේවල් කියමින් ප්‍රසිද්ධ වූ බව පවුලේ අයගේ අදහසයි. මියගිය ‘හිතුමතේ ජීවිතේ’ගේ බාල සහෝදරයා වන කෝපියාවත්ත, දෙල්දූව වාද්දුව ලිපිනයේ පදිංචි බටුගහහේ දොන් ආනන්ද පෙරේරා(64) මරණ පරීක්ෂණයේදී ඒ ගැන වැඩිදුටත් මෙසේ පවසා තිබිණ.

“නංගිට කරදර කරපු පිරිසක් මරා දැමූ බවට ඔහු කියලා තිබුණේ. ඒත් අපි දන්නා තරමින් නම් ඔහු කවදාවත් ඒ වගේ මනුෂ්‍ය ඝා තන කරලා නෑ. ඔහුගේ එකම නංගි මරා දැමූ බව කිව්වත් ඇය තවමත් ජීවතුන් අතර ඉන්නවා. මේ අතරෙදි තමයි මගේ බිරිය දැකලා තිබුණේ අයියා කළුබෝවිල රෝහලේදී මිය ගිය පුවතක් අන්තර්ජාලයේ තියෙනවා. ඊට පස්සේ තමයි අපි රෝහලට ගියේ. එහිදී අපි අයියාගේ දේහය හඳුනා ගත්තා.”

ඔහු පමණක් නොව ‘හිතුමතේ ජීවිතේ’ගේ එකම නැඟණිය දංකොටුවේ පදිංචි බටුගහගේ දොන් චන්ද්‍රානි පෙරේරා(56) ද සිය වැඩිමහල් සොහොයුරාගේ මෘත දේහය හඳුනා ගන්නට රෝහලට පැමිණියාය.

දෙදරු මවක වන ඇය ද සිය සොහොයුරා ජීවත්ව සිටියදී කළ ‘අධි රංගනය’ පිළිබඳ සිටින්නේ තවමත් වික්ෂිප්තවය.

“අයියා කුඩා කාලේ ඉඳලම හරිම හිතුවක්කාරයි. ගෙදරින් තරහ වෙලා පාසල් යන කාලේ සිටම ගෙදරින් පිටවෙලයි හිටියේ. තාත්තා අවස්ථා කිහිපයකදීම නිවෙසට රැගෙන ආවත් ඔහු නිවෙසේ රැඳී හිටියේ නැහැ. ඒත් අවස්ථා කිහිපයකදී විටින් විට නිවෙසට පැමිණ අපි සමඟ කතාබස් කොට නැවත පිටව ගියා. ඒ අතරතුර තමයි හිතුමතේ ජීවිතේ නමින් ඔහු ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් කියලා තිබුණේ. ඔහු පවසන පරිදි කිසිවක් අපි දන්නා තරමින් කරලා නැහැ. හැබැයි සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් නම් ඔහු සිරගතව සිටි බව අපට දැනගන්න ලැබුණා. ඒ කොහොම වුණත් ඔහුගේ එකම නැඟණිය කළ බව පැවසුවද එවැන්නක් සිදුවී නැහැ. ඔහුට සිටි එකම නැඟණිය මමයි. ”

ඇයගේ වදන් තුළ සහෝදර බැඳීම නැත යැයි කිව හැක්කේ කා හටද? ඉකුත් 11 වැනිදා රාත්‍රියේ ‘හිතුමතේ ජීවිතේ’ කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත්තේ අසනීප තත්ත්වයක් මතය. ඒ වන විට ඔහු ජීවත් වී ඇත්තේ ගුණරත්න මාවත, පැපිලියාන, බොරලැස්ගමුව යන ලිපිනයේ ය.

කළුබෝවිල රෝහලේ වාට්ටු අංක එකේ ඇඳ ඉහපත් අංක 0498112023 යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මරු වැලඳ ගන්නේ ඉකුත් 13 වැනිදාය. මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය කේ. කේ. ටී. කල්හාර ජයවීර විසින් සිදු කිරීමෙන් පසු එම වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි අනුව මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව පෙණහලුවල ඇතිවූ නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්නය වීම බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක, සාම විනිසුරු පාරින්ද කොටුගොඩ විසින් නිගමනය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්නගේ උපදෙස් මත පො.කො.(92525)මාලන් සාරංග සඳරුවන් පරීක්ෂණ මෙහෙය වීය.

ආන්දෝලානාත්මක කතා රැසකින් රටම මවිත කළ ‘හිතුමතේ ජීවිතේ’නොහොත් බටුගහගේ දොන් රංජිත් කරුණානන්ද ඉකුත් 18 වැනිදා අවසන් ගමන් ගියේ ඔහු සමාජගත කළ ‘බොරුව’ තවදුරටත් සමාජයේ කතාබහට ලක් වෙන පසුබිමක් මතය.

“අයියා මාධ්‍යවලට කළ ප්‍රකාශ මාධ්‍යවල පළ වුණු මුල් කාලෙම අපි ඒ ගැන පැමිණිලි කළා, මේවා අසත්‍යයයි කියලා. නමුත් අපේ පැමිණිලිවලට සාධාරණයක් වුණේ නැහැ. මාධ්‍යවල පළ වුණු ඒවා නිසා අපිට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදා වුණා. අපි රැකියාවල් කරපු අය, අපිට දරුවෝ ඉන්නවා. අපි රටට මුහුණ දෙන්න ඕනේ. අපි හැමෝටම ලොකු ලැජ්ජාවක් වුණේ, අපි එච්චරම අසරණ තත්ත්වයකට පත් වුණා. අපි මේ ගැන පුවත්පත් මණ්ඩලේටත් පැමිණිලි කළා. නමුත් අපිට සාධාරණයක් වුණේ නැහැ. ඔයාලගෙම අයියනේ ඒවා කියන්නේ, ඒ හින්දා අපිට මුකුත් කරන්න බැහැ කිව්වා. අපේ අම්මා, තාත්තගේ නම් පවා ඒ ලිපිවල තිබුණා. ඒ ගැන අපිට හරි වේදනාවක් තියෙන්නේ. මේ රටේ පුරවැසියො විදිහට අපිට නිදහසේ ජීවත් වෙන්න අයිතියක් නැද්ද? දැන් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයිනේ. තවත් මේ ගැන කතා කරන්නවත් අපි කැමති නැහැ. අපිට දැන්වත් නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න”

‘හිතුමතේ ජීවිතේ’ගේ බාල සහෝදරයා වන ආනන්ද පෙරේරා ඒ ඉල්ලීම කළේ සිය සොහොයුරා ගේ බොරු මාධ්‍ය සංදර්ශන නිසා අපහසුතාවට පත්වූ සිය එකම නැඟණිය ඇතුළු පවුලේම අය වෙනුවෙනි.

‘හිතුමතේ ජීවිතේ’ කුමන අරමුණක් නිසා එවැනි අසත්‍යයක් සමාජගත කළද ඔහුගේ සහෝදරයාත් සහෝදරියත් ඔහුගේ අවසන් කටයුතු ඉටු කිරීම සඳහා තමන්ට හැකි අයුරින් දායකත්වය දැක්වීමට ද අතපසු නොකළහ.

කෙසේ වෙතත් රංජිත් නොහොත් සුමතිපාල නොහොත් ‘හිතුමතේ ජීවිතේ’ හිතුමතේ ගත කළ ජීවිතයට සමුදී සැනසීම සොයාගෙන ගොස් අවසන්ය.

දැන් හෝ ඔහුගේ පවුලේ අයට නිදහසේ සැනසීමෙන් ජීවත් වන්න අවකාශ තිබිය යුතුය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

මෙන්න බලන්න තවත් පුවත්