නැසිගිය ජ්‍යෙෂ්ඨ ජන ගී කලාවේදී ලයනල් රංවල ශූරීන්ගේ ‘රංවල බළකාය’ හරහා මෙරට කලා ක්ෂේත්‍රයට දායාද වූ පිරිස් රැසකි. ඒ අතර නව පරපුරේ තවත් එක් තරුවක් ලෙස මෙවර අපේ කතා නායිකාව හැඳින්විය හැකිය. රංවල බළකායෙන් පුහුණුව හා අධ්‍යාපනය ලද ඈ 2017 වසරේ දී ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයෙන් හා 2019 වසරේ දී හිරු නාලිකාවේ අවුරුදු කුමරිය තරඟයෙන් ද අවසන් වටයේ දොළොස් දෙනා (12) අතරට තේරී පත්වීමෙන් අනතුරුව ඇයට රංගනය සඳහා දොරගුළු විවර විය. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලබන ඈ මේ දිනවල බෙහෙවින් ජනපි‍්‍රය වී ඇත. ඒ සිරස රූපවාහිනිය තුළින් සතියේ දින පහේම රාත්‍රී 8.30 එ විකාශය වන ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ දිගැසිගේ චරිතයට රංගනයෙන් එක්වීමෙනි. ඇය නමින් සචින්තනි කෞශල්‍යාය. මේ සරසවිය සමඟින් ඈ කළ ප්‍රථම කතා බහයි.

දිගැසි මේ දවස් වල හරිම ජනපි‍්‍රයයි නේද?

ඔව් ඇත්තට මං දැන් සචින්තනි නොවෙයි. හැමෝම මට මේ දවස් වල දිගැසි කියලා තමයි කතා කරන්නේ. මම නොසිතු විරු ලෙස දිගැසිට පුදුම විදිහේ ප්‍රතිචාර ලැබෙනවා. ඒක දැන් පේ‍්‍රක්ෂකට මතක හිටින චරිතයක් බවට පත්වෙලා හමාරයි.

මං දිගැසි කියලා කතා කරන්න ද සචින්තනි කියලා කියන්නද?

කොහොම කතා කළත් ප්‍රශ්නයක් නෑ දිගැසි වුණත් මම සචින්තනිම තමයි.

ඒ කියන්නේ දිගැසියි සචින්තනියි කිසිදු වෙනසක් නැද්ද?

දිගැසිගේ ඇතැම් දේවල් සචින්තනිට බොහෝ සෙයින් සමානයි.

එහෙනම් සචින්තනි හෙවත් දිගැසිගේ පෞද්ගලික විස්තර කියමු බලන්න?

මම පදිංචි වෙලා ඉන්නේ කිරිබත්ගොඩ පවුලේ අම්මයි, තාත්තායි, නංගියි, මමයි තාත්තා ව්‍යාපාරිකයෙක් අම්මා ගෘහණියක්. නංගී නම් තාම ඉගෙන ගන්නවා.

ගෙදර අය ඔයාට මොන නමින්ද කතා කරන්නේ?

ගෙදර අය සචි කියලා තමයි කරන්නේ. මගේ යාළුවොත් සචි කියලා කතා කරනවා.

එතකොට ඔබ ඉගෙන ගත් පාසල?

කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විදුහල

පාසල් කාලයේ ඉඳලම කලාවට ආසාවක් තිබුණ ද?

ඒ කාලේ පාසලේ දී නර්තනය විෂයක් ලෙස හැදෑරුවා. ඊට අමතරව මම ක්‍රීඩාව පැත්තෙනුත් දක්ෂතා පෙන්නුම් කළා. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව බවටත් පත්වුණා. තව කැඩේට් නිලධාරිනියක් ලෙසත් පුහුණුවීම් ලැබුවා. උසස් පෙළ විභාගය සමත් වෙලා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට 2017 වසරේදී ඇතුළත් වුණා.

දැන් විශ්වවිද්‍යලයේ කීවෙනි වසරේ ද?

මේ යන්නේ අවසන් අවුරුද්ද

සචින්තනි කලාවට ආව හැටි මතක් කළොත්?

රංවල බළකාය හරහා තමයි මට ඒ අවස්ථාව ලැබෙන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගවලට මුහුණ දෙන කාලවලදී මම පුර්ණ ලෙස කාලය කැප කරලා අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දුන්නා. ඉතින් ඔය කාලය තුළ කලා කටයුතු බොහෝමයක් මට මඟ හැරුණා.

ඊට පස්සේ?

මම ජාතික රූපවාහිනයේ හා හිරු රූපවාහිනියේ අවුරුදු කුමරිය තේරීමේ තරග වලට ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවලදී මම අවසන් වටයේ දොළොස් දෙනා (12) අතරට තේරුණා. එතැනින් පස්සේ තමයි මට රංගනයට අවස්ථාව ලැබිලා කලාවේ ගමන මේ විදිහට එන්න ලැබුණේ.

කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යයේ ඔබට රංගනය සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මට මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ධනුෂ්ක රත්නායක අයියා තමයි දිගැසි කියන චරිතය සඳහා කතා කරන්නේ. මං මීට පෙර ධනුෂ්ක රත්නායක අයියා ගැන අහලා දැකලා තිබුණට මේ විදිහට ඔහුම මට කතා කරලා මේ වගේ අවස්ථාවක් ලබාදෙයි කියලා හිතුවේවත් නෑ. ඔහු මට කතා කරලා මේ අවස්ථාව ලබා දුන්න එක ගැන ඇත්තටම සතුටුයි.

කවුද මේ දිගැසි කියලා කියන්නේ?

අම්මත් නැතුව සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳලම තාත්තත් එක්කම හැදිලා වැඩිලා මේ වන විටත් තාත්තත් එක්කම ජීවත්වෙන දුවකගේ චරිතයක්.

නාට්‍යයේ හැටියට ලොකූ හෙවත් නිර්වාන් ස්නේහාට අයිති වෙයි ද නැතිනම් දිගැසිට අයිති වෙයිද?

ඒක නම් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් මම දන්නේ නෑ. ඒ ගැන හරියටම කියන්න. අපි ඉස්සරහට ටෙලි නාට්‍යය බලමු එතකොට ඒ ගැන දැන ගන්න පුළුවන් වේවි.

මේ ටෙලි නාට්‍ය රූගත කිරීමේදී ඔබට සිදු වූ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?

ඔව් අමතක නොවන දේවල් නම් කිහිපයක්ම තිබුණා. මේ ඉන් එකක්. මට මේ ටෙලි නාට්‍යයේ එක් අවස්ථාවක් තිබුණා ප්‍රධාන පාරේ රූගත කිරිමක් ඒ කොරෝනා අවදානම උග්‍රව පැතිර ගිය දවස් කිහිපයේ. සාමාන්‍යයෙන් මාස්ක් එක නැතුවම තමයි රූගත කිරීම් කරන්න පටන් ගත්තේ. පස්සේ මේක දැකපු පොලිස් නිලධාරියෙක් මං ගාවට ඇවිල්ලා ‘මොකද මේ කෝ මාස්ක් එක තමුන්ට මදිවට අනිත් අයටත් බෝ කරන්න හදන්නේ’ කියලා දොස් කීවා. එයා දන්නේ නැහැ මේක ටෙලි නාට්‍යයක රූගත කිරිමක් කියලා පස්සේ එයා ඒක දැන ගත්තාම එතැනින් පිටවෙලා ගියා.

සචින්තනි මේ වන විට වෘත්තීය රංගන ශිල්පිනියක්ද?

නැහැ මම දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක සහය කථිකාචාර්යවරියක් ලෙස වැඩ කරනවා.

සචින්තනිට මෙතෙක් ලැබුණු ඉස්සරහට රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්න චරිත එහෙමත් තියෙනවාද?

එකම විදිහේ ඒවා නොවී විවිධ මට්ටමේ චරිත රඟපාන්න කැමැතියි. මම මීට පෙර රඟපෑ මුතුලෙන්දොර ටෙලි නාට්‍යයේ සිතුලිගේ චරිතය, ලක්ෂමන් පුෂ්ප කුමාර මහතාගේ ධවල රාක්ෂ ටෙලි නාට්‍යයේ ඊෂ්වරී කියන දෙමළ චරිතය වගේම දිගැසි යන මේ චරිත එකිනෙකට වෙනස් ඒවා. ඒ අයුරින් දිගටම වෙනස් චරිත කරන්න ලැබෙනවා නම් මං වඩා කැමතියි.

දැන් ඔයාගේ වයස කියන්න කැමතිද?

ඔව්. කැමැතියි මට වයස අවුරුදු විසි හතරයි. (24)

සචින්තනි මේ වන විට පෙම්වතියක් ද?

තවම නෑ.

ඇයි තවම ඒකට ප්‍රමාද?

මට තවම සුදුසු කෙනෙක් ඒ සඳහා හමුවුණේ නෑ.

ඇත්තටම තවම එහෙම කෙනෙක් ඔයාට හොයා ගන්න බැරි වුණාද? බොරු නේද කියන්නේ?

නෑ බොරු නෙවෙයි මේ ඇත්තමයි කියන්නේ මට තාම එහෙම කෙනෙක් නෑ. ඉස්සරහට මට ඒ වගේ කෙනෙක් ලැබුණොත් ඔයාලගේ පත්තරේට මුලින්ම කියන්නම්

කලාවේ නිරත අයෙක්ද වෙනත් ක්ෂේත්‍රයක අයෙක්ට ද ඔබේ වැඩි කැමැත්ත?

ඇත්තටම මට එහෙම කියලා වෙනසක් නෑ. වෙනත් ක්ෂේත්‍රයක අයෙක් වුණොත් වඩා හොඳයි කියලා හිතෙනවා.

(හේමන්ත බණ්ඩාර – සරසවිය පුවත්පත)

පැරණි පුවත්

එක එක්කෙනාගේ හිත්වලට වෙන වෙන හැඟීම් දැනෙන්න යම් යම් දේවල් මගේ අතින් වුණා. ඒ දේවල්වලට සමාවෙන්න-උපේක්ෂා ස්වර්ණමාලි කළ පාපොච්චාරණය

උපේක්ෂා… ජීවිතේ කොහොමද?

ජීවිතේ ටිකක් මේ දවස්වල කාර්යබහුලත්වය වැඩි වේගෙන එනවා කියලා හිතෙනවා. දැන් දුවත් පළමු ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. එයා ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලබනවා. පසුගිය කාලේදී කොවිඩ් ඇතුළු විවිධ හේතුන් නිසා නිර්මාණවලට දායක වුණෙත් නැහැ. පිටපත් කිහිපයක්ම ගෙදර තිබුණත් ඒ නිර්මාණ පටන් ගත්තේ නැහැ. හැබැයි අද වෙද්දී ටෙලිනාට්‍ය තුනක රූගත කිරීම් වෙනවා.

ඒ වගේම නත්තල සහ අලුත් අවුරුද්දත් ළඟයි. ඒ නිසා වැඩසටහන් කිහිපයකටම නර්තනයෙන් දායක වෙනවා. මේ දවස්වල ඒවායේත් පුහුණුවීම් කටයුතු කරනවා.

මේ හැම වැඩකටයුත්තක්ම එක්ක දියණිය වෙනුවෙන් ලබාදෙන කාලය වෙන්කර ගන්නේ කොහොමද?

ඇත්තටම ඒක ලෙහෙසි නැහැ. දුව ඉන්නෙත් මාත් එක්කමයි. උදව්වට දුවගේ තාත්තාගේ ගෙදරත් දුවව තියන වෙලාවල් තිබෙනවා. ඉස්කෝලේ වෙලාවල්වල හැර මම රූගත කරන තැන්වල දුවව තියාගෙන ඉන්නවා. අනිත් දවස්වල දුවත් එක්කම කාලය ගතකරන්නයි මම වෙන්කරගෙන ඉන්නේ. “මට පොඩි නිවාඩුවක් ඕනේ” කියලා මම එයා නැතිව විවේකයක් ගන්නේ නම් නැහැ. මගේ ජීවිතේ මොන නොලැබීම් තිබුණත් මගේ දුව හරිම ඉවසිලිමත් හරිම හොඳ දරුවෙක්. රූගත කිරීම් තැන්වලදී අමතර සද්ද කරන්න බැහැ. දඟලන්න බැහැ. හැබැයි දුව ඒකට හරිම අනුගතයි. දුවට මාස හයේ ඉඳන් මම එයාව රූගත කිරීම් කරන තැන්වලට අරන් ගිහින් තියෙනවා. දුව තේරෙන කාලේ ඉඳන් රූගත කිරීම් කරන තැන්වලදී සිදුවෙන දේවල් බලන්න ආසයි. අධ්‍යක්ෂණය කරන විදිහ, කැමරා කරන විදිහ දිහා එයා ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ නිසා ඒ තැන්වලට යන්න දුව අකමැති වෙන්නේ නැහැ. එයා හැමෝ එක්ක හරි එකතුයි. හරිම උනන්දුවෙන් ඒ දේවල් දිහා බලාගෙන ඉන්නවා.

එදා දේශපාලනයට සම්බන්ධ වීම ගැන අද උපේක්ෂාට කලකිරීමක්, දුකක් තිබෙනවාද?

ඔව්. අනිවාර්යයෙන්ම… පක්ෂ දේශපාලනයට සම්බන්ධ වීම තුළින් මට ආදරය කරපු රසික රසිකාවියන් බෙදිලා ගියා. දේශපාලනය නිසා මට වෛර කරපු අය හිටියා. ඒක මම මට කරගත්තු ලොකු හානියක්. හැබැයි මාව හරියට තේරුම් ගත්තු ලොකු පිරිසක් හිටියා. කාටවත් හැමෝගෙම හිත් සනසන්න බැහැනේ.

පුංචි කාලේ උපේක්ෂා ආසාවෙන් හිටියේ නිළියක් වෙන්නද?

නැහැ. මම එහෙම ලොකු අරමුණක් එක්ක ජීවත්වුණ ළමයෙක් නෙමෙයි. කලාව කියන දේට මම හරි ආසයි. මම ඉපදෙද්දී කුවේට්වල මගේ අම්මාට වාදක මඩුල්ලක් තිබුණ. පුංචි කාලේ ඉඳන් මම දැක්කේ ඒවායි. මටත් වඩා මගේ අම්මා කලාවට හරි ආසයි. මට අවුරුදු තුනේදී ඉඳන් මගේ අම්මා මාව නර්තන පන්තිවලට යොමු කළා. ඒ ආසාව පාසැලේදීත් තිබුණා. කලාවට මගේ හරි උනන්දුවක් තිබුණා. කලාවත් එක්ක තිබුණ ඒ බැඳීම මිසක් වෙන අරමුණක් තිබුණේ නැහැ.

උපේක්ෂාගේ ජීවිතේ හිමිවීම් වගේම අහිමිවීම්, කඩාවැටීම් තිබුණා. මේ දේවල් දරා ගත්තේ කොහොමද?

ජීවිතේ මොන දේ නැතිවුණත් අපිට ඉතිරිවෙන යම් දෙයක් අනිවාර්යයෙන්ම තිබෙනවා. මගේ ජීවිතේත්, කඩාවැටීම් තිබුණා. කලකිරීම් තිබුණා. ඒ මොන දේ තිබුණත් මට ඔළුව උස්සන්න හේතුවක් අනිවාර්යයෙන්ම තිබුණා. අපි ඒ හේතුන් දිහා වැඩිය බලන්නේ නැහැ. ඒවාට නැඹුරු වෙන්නේ නැහැ. ඒවාට වටිනාකමක් නොදී නැති දේ ගැනම දුක් වෙනවා. මම හැමවෙලේම උත්සාහ කළේ ඒ තියෙන දේ රුකගන්නයි. ඒවා හඳුනාගන්නයි. මගේ ගෙදර නරක අත්දැකීමක් ආයෙ මතක් කරන පින්තූරයක් වුණත් මම තියාගන්නේ නැහැ. මම කිතුණු භක්තිකයෙක්. තමන්ගේ මොන විශ්වාසය තිබ්බත් ඒ පැත්තටත් අපි නැඹුරු වෙන්න ඕනේ. අපි කරන පව්, පින් කවදාහරි අපිට පල දෙනවා.

විවේක වෙලාවලදී උපේක්ෂා…. දියණිය සමඟ මොනවද කරන්නේ?

ඒ වෙලාවට දෝණි කැමැති දේට මම ඉඩදීලා ඉන්නවා. වෙලාවකට අපි දෙන්නා එකතුවෙලා චිත්‍ර අඳිනවා. සෙල්ලම් කරනවා. දෝණි පොඩි පොඩි දේවල් අත්හදා බලන්න ආසයි. ඒ නිසා එයා කැමැති දේවල් එයා එක්ක එකතුවෙලා කරනවා.

තාමත් ඔබට ආදරය කරන පිරිසක් උපේක්ෂාට ඉන්නවා?

ඔව්. අනිවාර්යයෙන්ම. මට ඒක දැනෙනවා. ඒ ආදරය මට දැනෙන තැන් තියෙනවා. ඒ ළෙංගතුකමක් තියෙන හැමෝටම ගොඩක් ස්තූතියි. කලාකාරියක් විදිහට වෙන ක්ෂේත්‍රවලට ගිහින් එක එක්කෙනාගේ හිත්වලට වෙන වෙන හැඟීම් දැනෙන්න යම් යම් දේවල් මගේ අතින් වුණා. ඒ දේවල්වලට සමාවෙන්න කියලත් මම ආදරණීය මිනිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙන්න බලන්න තවත් පුවත්