පසුගියදා තුරඟ තරග පිටියේදී කොළඹ සරසවියේ සිසුවියක් ඝාතනය කළ සිද්ධියේ සැකකාර සිසුවා ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දී තිබේ.

විශේෂ දෙයක් කතා කිරීමට අවශ්‍ය බව තමන් “චූටි” නමින් ආමන්ත්‍රණය කරන පෙම්වතියට පැවසා ඇය සමඟ කොළඹ තුරඟ තරග පිටියට පැමිණි බවත්  ඇය තමන්ට නිරන්තරයෙන් බැන වදින බවත් තමන් මානසික රෝගියෙක් බව පවසමින්ද තමන්ට පරිභව කරන බවත් සැකකාර තරුණයා පොලීසියට පවසා තිබේ.

2019 වසරේ සිට තමන් මානසික ව්‍යාකූල තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බවද තරුණයා පොලීසියට පවසා ඇත. ඝාතනයට ලක්වූ තරුණිය සමඟ අදාළ තරුණයා 2020 වසරේ සම්බන්ධතාවයක් ඇතිකරගෙන තිබුණද ඔහු එලෙස තමන් මානසික ව්‍යාකූල තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බව ඇයට පවසා නොමැති අතර මීට මාස කිහිපයකට පෙර ඒ පිළිබඳව  සිය පෙම්වතිය දැනගත් බව සැකකාර තරුණයා සිය පාපොච්චාරණයේදී පොලීසියට පවසා ඇත.

ඉන් අනතුරුව ඇය තමන් සමග අමනාප වූ බවත් ආදර සම්බන්ධය නතරකළ බවත් “ඇය මට නිතරම “පිස්සා” කියලා බනිනවා” යනුවෙන් ද තරුණයා පොලීසියට පවසා ඇත. සිය පෙම්වතිය වෙනස් වූයේ වෙනත් සම්බන්ධයක් හේතුවෙන් දැයි ඔහු සොයා බැලුවද ඇයට එවැනි සම්බන්ධයක් නොතිබූ බව අනාවරණය වූ බව සැකකාර පෙම්වතා කියයි. ඔහුට අහිමි වූ ඇය වෙනත් අයෙකුට හිමිවීම වැළැක්වීමට ඇයව ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කළ බව ඔහු කියා සිටී. නැවත වරක් පසුගිය සෙනසුරාදා දිනයේ ඔහු සහ පෙම්වතිය අතර බහින්බස්වීමක් සිදුවූ බවද සැකකාර තරුණයා පොලීසියට පවසා ඇත.

ඒ අනුව ඝාතන සැලැස්මේ පළමු පියවර ලෙස ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් රුපියල් 140ක මුදලකට පිහියක් මිලදී ගෙන තමන් අඟහරුවාදා දිනයේ එම පිහියද බෑගයේ දමාගෙන සිය නිවසේ සිට පැමිණි බව ඔහු කියා සිටී. විශ්වවිද්‍යාලයේ උදෑසන පළමු දේශනයට සහභාගීවීමෙන් අනතුරුව “විශේෂ කතාවක් තියෙනවා තුරඟ තරග පිටියට යමුද කියලා මම චූටිට කිව්වා” සැකකාර තරුණයා පවසයි. ප්‍රථමයෙන් ඝාතනයට ලක්වූ තරුණිය එයට අකමැත්ත පළකළද පසුව තමන් බලකළ නිසා ඇය කැමති වූ බවද සැකකාර තරුණයා පොලීසියට පවසා තිබේ. එහිදී ඇයව පුදුමයට පත්කිරීමට අවශ්‍ය බව පවසා සැකකාර තරුණයා විසින් ඝාතනයට ලක්වූ තරුණියගේ දෑස් ලේන්සුවකින් බැඳ පිහියෙන් ගෙළට ඇන ඝාතනය සිදුකළ බව ත් එහිදී ඝාතනයට ලක්වූ තරුණිය කෑ ගසා ලේන්සුව දෑස්වලින් ඉවත්කර උදව් ඉල්ලූ බවත් එහිදී තමන් තවත් පිහි පහරක් ඇයගේ ගෙළට එල්ලකළ බවත් සැකකාර තරුණයා පොලීසියට පවසා ඇත. එම ස්ථානයේ සිටි පිරිස් ඝාතනය සිදුවූ ස්ථානයට පැමිණේ යැයි බියෙන් තමන් එම ස්ථානයෙන් දිවගිය බවද සැකකාර තරුණයා පොලීසියට පවසා තිබේ.

“පළායන මොහොතේ මම චූටි දිහා නැවතත් හැරිලා බැලුවා ඒ මොහොතේ චූටි කිසිදු හැලහොල්මනක් නැතුව වැටිලා හිටියා.” තරුණයා එලෙස සිය වචනයෙන් පොලීසියට පවසා ඇත.

ඔහු එම ස්ථානයෙන් කෙළින්ම වැල්ලම්පිටියට ගිය බවත් දුම්රියක් පැමිණෙන තුරු බලා සිටියද දුම්රියක් නොපැමිණීම හේතුවෙන් දෙවරක් සියදිවි හානිකරගැනීම සඳහා කැලණි ගඟට පැන්න බවද සැකකාර තරුණයා සිය කට උත්තරයෙන් පොලීසිය වෙත පවසා තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්